අඩු මිලට ප්‍රමිතියෙන් යුත් මත් වතුර බෝතලයක් 2025 මුල් කාර්තුවේදී


නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුව ඇති පිරිස් ඉන් ගලවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ මුල් කාර්තුව වන විට ඔවුන්ට දැරිය හැකි මුදලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් වෙළඳපොළට හදුන්වා දීමට කටයුතු කරන බව සුරා බදු කොමසාරිස් උදය කුමාර මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සුරා බදු ආදායමෙන් සියයට 30ක් පමණ නීති විරෝධී මත්පැන් නිසා අහිමිව යන බවත් ඔහු පැවැසීය.

එසේම නව මත්පැන් බෝතලය හඳුන්වාදීමෙන් අනතුරුව නීතිවිරෝධී මත්පැන් සඳහා වන වැටලීම් වැඩි කර එවා රටින් තුරන් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස්වරයා,

“නීති විරෝධී මත්පැන් අද විශාල ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ගණන් බලපු ආකාරයට සුරා බදු ආදායමෙන් සියයට 30ක් විතර අහිමි වෙලා තියෙන්නේ මේ නීතිවිරෝධී මත්පැන් නිසා. මේ මත්පැන් නැති කරන්න නම් අපිට වැටලීම් වලින් විතරක් කරන්න බෑ.

වැටලීම් කරන අතරේම එයට යොමුවෙලා තියෙන මහජනතාව වෙත විකල්ප යෝජනාවක් ගේන්න ඕන. ඒක නිසා අදහසක් තියෙනවා මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා නීති විරෝධී මත්පැන්වලට යොමුවෙලා ඉන්න ජනතාවට විකල්පයක් ලෙස ඒ අයට දැරිය හැකි මිලකට අඩු මිලකට ගත හැකි මත්පැන් බෝතලයක් නිපදවන්න.

ඒක ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරලා අනුමැතිය ලබාගෙන තමයි වෙළඳපොළට දෙන්නේ. මෙය සුරාබදු ආදායම් වැඩි කර ගැනීමට හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නෙමෙයි.

මහජනතාව ගලවා ගැනීම වෙනුවෙන් කරන වැඩසටහනක්. මොකද නීති විරෝධී මත්පැන් නිසා ගෙවල්වල අඩදබර වැඩිවෙනවා. ලෙඩ රෝග වැඩිවෙනවා. මරණ වැඩි වෙනවා. නීත්‍යානුකූල මත්පැන්වලින් ලබන ආදායම නීති විරෝධී මත්පැන් භාවිත කරලා ලෙඩ වෙන අයට වියදම් කරපුවාම ඒ ආදායම නොලැබුවා හා සමානයි. එතකොට ආදයමක් නොඉපයූවා වගෙයි. 2025 මුල් කාර්තුවේදී මෙය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් වැටලීම් වැඩි කරලා නීති විරෝධී මත්පැන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට බලාපොරොත්තු වෙනවා.”



Recommended Articles