අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු


මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභා පාසල් වලට එකදු හෝ කම්කරු සේවකයෙකු නොමැතිව සිටියදී මහනුවර ඇති ජාතික පාසල්වල කම්කරු සේවකයන් 10-25 ත් අතර පිරිසක් සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

මෙම කම්කරු සේවකයන් පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සිටියදී කුලියාපිටිය ඇතුළු ප්‍රදේශවලින් කම්කරු සේවයට බඳවාගෙන මහනුවර ජාතික පාසල් වලට අනුයුක්ත කොට ඇති බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

මෙම කම්කරුවන්ට මහනුවර දක්වා පැමිණ සේවයට වාර්තා කිරීමට ලංගම බස් රථයක්ද  යෙදවීමට එවකට සිටි පාලකයන් ක්‍රියාකොට තිබූ අතර ඔවුන් බොහෝ දෙනා දේශපාලන හිතවත්කම් මත එසේ පත්වීම් ලද අය බවද කියයි.

මෙම කම්කරු සේවකයන්බොහෝ දෙනෙකු මේ වන විට අනධ්‍යයන සේවක අනුයුක්ත පදනම මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල්වල සේවය කරමින් සිටින අතරඔ වුන් වැටුප් ලබා ගැනීම මහනුවර දිස්ත්‍රික්කයේ පත්වීම ලද පාසලෙන් සිදු කරන බවද පළාත් අධ්‍යාපන කාර්යාලය කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් මහතා පවසා සිටියේ මධ්‍යම පළාතේ ජාතික හා පළාත් සභා පාසල් සැලකීමේදී අනධ්‍යයන සේවයට අයත් ඇතැම් ක්ෂේත්‍ර සඳහා පළාත් සභා පාසල්වලට බරපතළ සේවක හිගයක් පවතින බවත් ජාතික පාසල් වල සිටින අතිරික්ත සේවකයෙන් පළාත් සභා සේවය සඳහා එක් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් පළාත් සභා පාසල් වල වැඩ කටයුතු කරගෙන යාමට මහත් රුකුලක් වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 දින ඉසුරුපායේදී රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී ජාතික පාසල් හා පළාත් සභා පාසල් අතර අනධ්‍යයන සේවකයන් හුවමාරු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා වීමට නියමිත බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles