IMF අවසන් එකඟතාවට පෙර කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා


රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

එලෙස දැනුවත් කිරීමේදී විපක්ෂයට, කථානායකවරයාට මෙන්ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් සහභාගී විය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව කථානායකවරයා අද (22දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එමෙන්ම මෙතෙක් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකු දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළ බව පැවසූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 

කථානායක මහින්ද යාපා අබේවර්ධන - ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා අයි.එම්.එෆ් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයවත් දැනුවත් කරලා නෑ කියලා. එකඟත්වයක් පමණක් මෙහිදී පළ කරලා තිබෙනවා කියලා කිව්වා. එම එකඟත්නය අයි.එම්.එෆ් මණ්ඩලය මගින් සම්මත විය යුතුව තිබෙනවා.

ඒ නිසා අනිත් ණය හිමියන් සහ රටවල් සමග සාකච්ඡා කර අවසන් වනතුරැ අවසන් එකඟත්වයකට දෙන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවමත් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා නෑ. ඒ විස්තර සියල්ල ලැබුණු පසු කඩිනමින් දැනුම් දෙන බව එතුමා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයටත්, කථානායකවරයාටත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයටත් දැනුවත් කිරීමට සහභාගී විය හැකි බවද සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට  ඇවිල්ලා නෑ. තවත් එකතු විය යුතු දේවල් තිබෙනවා. සංශෝධන එකතු කර යුතුව තිබෙනවා. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා නෑ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා -  ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු අපිට පෙන්වන්නේ ඇග්‍රිමන්ට් එක ෆයිනල් වුනාට පස්සෙලු. ඒක වැරදිද?

කථානායක මහින්ද යාපා අබේවර්ධන - ඒක වැරදියි. ඔහු මට කිව්වේ අවසන් තීරණට අයි.එම්.එෆ් එකත් සමග යන්න කලින් ඔහු මේ සම්බන්ධයෙන් කැබිනට් එකට දැනුම් දෙනවා කියලා කිව්වා.  
 

 



Recommended Articles