Fitch Ratings, ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිය ඉහළ දමයි


ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ පසුගිය දෙසැම්බර් 20දා ෆිච් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය-මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) "CCC-" සිට "CCC+" දක්වා ඉහළ නැංවීමෙන් පසුව නවතම යාවත්කාලීන කිරීම සිදු කරමිනි.

ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ෆිච් කටයුතු කර ඇති අතර, තවත් බැංකු 5ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්ද සහතික කිරීමට කටයුතු කර තිබේ.

මෙම ජාතික පරිමාණ ශ්‍රේණිගත කිරීම් යනු දේශීය ආයෝජකයන්ට අවදානම වෙන්කර හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත අවදානම් ශ්‍රේණිගත කිරීමක් වන අතර, බැංකුවල ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී රටේ අනෙකුත් නිකුත් කරන්නන්ට සාපේක්ෂව ඔවුන්ගේ ණය සුදුසුකම් සලකා බැලීමක් සිදු කරයි.

ඒ අනුව, ලංකා බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, මහජන බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, කොමර්ෂල් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, හැටන් නැෂනල් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, සම්පත් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, සෙලාන් බැංකුව 'A-(lka)' සිට 'A+(lka)' දක්වාත්, DFCC බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, ජාතික සංවර්ධන බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, පෑන් ඒෂියා බැංකුව 'BBB-(lka)' සිට 'BBB(lka)' දක්වාත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.

එමෙන්ම, සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු ලෙස, අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව දක්වා තිබේ.

 



Recommended Articles