1994 දී වසරෙදී වසා දමන ලද කන්තලේ සීනි කර්මාන්තායතනයේ වන්දි ලබා දි ඉවත් කරන ලද සේවකයන් 33 දෙනෙක් සඳහා 2020, 2021, 2022 සහ 2023 වර්ෂවලදී රුපියල් හයකෝටි තිස්දෙලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑඅටක් (6,32,31,678/-) වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) වශයෙන් ගෙවා තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
1999 වර්ෂයේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොවුනද වත්කම් ආරක්ෂා කිරීම සහ අනෙකුත් කාර්යයන් වෙනුවෙන් සාමාන්‍යාධිකාරි ඇතුළු සේවකයන් 33 ක් වෙනුවෙන් මෙම මුදල් ගෙවා තිබෙන බවත් එම සේවකයන් අතර ආරක්ෂක නිලධාරීන් 03 ක්, නියාමකවරුන් 15 ක්, රියදුරන් 04 ක්, ගබඩාකරුවන් 03 ක්, පොත් තබන්නන් 06 ක් සහ කාර්මික උදව්කරුවන් 02 ක් සිටින බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය 2020, 2021, 2022 සහ 2023 වර්ෂයන්ට වෙනුවෙන් කන්තලේ සීනි කර්මාන්තායතනයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් වේ.
මෙම සේවකයන් 33 දෙනා වෙනුවෙන් වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) සදහා 2020 වර්ෂයේදී රුපියල් 1,48,22,246/- ක්ද, 2021 වර්ෂයේදී රුපියල් 1,50,00,761/- ක්ද, 2022 වර්ෂයේදී රුපියල් 1,68,38,619/- ක්ද, 2023 වර්ෂයේදී රුපියල් 1,65,69,952 ක්ද ගෙවා තිබෙන බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
කර්මාන්තායතනයේ පරිපාලනයේ හා මෙහෙයුම්වල පැවති දැඩි අකාර්යක්ෂමතාව හා අක්‍රමවත්භාවය හේතුවෙන් 1994 දී 1135 ක් වූ සියලු සේවකයන්ට පාරිතෝෂික ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කළ බවත් එයින් පසුව කිසිදු නිෂ්පාදන කටයුත්තක් නොමැතිව කර්මාන්තායතනය වසා දමා තිබූ බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් 31,79,245/- ක සෘණ ශුද්ධ වත්කම් තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් 2021 දී නැවත නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගම් 02 ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළද 2023 දෙසැම්බර් 31 දක්වා නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමෙන් ආයතනය අවිනිශ්චිත තත්ත්වයක පැවතුණ බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දි ඇත.
1957 දී ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්තායතනය වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 16300 ක්, මොලෑසස් මෙට්‍රික් ටොන් 9000 ක් සහ වෙනත් ස්ප්‍රීතූ ලීටර් මිලියන 3.9 ක නිෂ්පාදිත ධාරිතාවකින් යුක්තව පැවතුණ බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ. 1957 අංක 11212 ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 8596 ක (අක්කර 21233, රූඩ් 2, පර්චස් 30) ඉඩම් ප්‍රමාණයක් කන්තලේ සීනි කර්මාන්තායතනය සඳහා වෙන්කර දී තිබුණද කර්මාන්තායතනය වසා දැමීමෙන් පසුව එම ඉඩම්වලින් හෙක්ටයාර් 4887 ක් සඳහා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය විසින් කලාප 04 කට වෙන්කර දී තිබෙන බවත් තවත් හෙක්ටයාර් 3709 ක් සීනි කම්හල හා නිවාස සංකීර්ණය, යොවුන් සේනාංකය, සරණාගතයන් කැලෑව හා පාර්වල් සඳහා වෙන්කර ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වේ. මෙයින් තවත් අක්කර 500 ක් පුද්ගලික හා රාජ්‍ය ආයතනයකට වෙන්කර දී තිබෙන බවට ප්‍රකාශ කළත් එම තොරතුරු විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛනයේ හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රෙල්ඛනයේ සඳහන් වන පරිදි ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂය අවසන් වී විගණන මූල්‍ය ප්‍රකාශය නිකුත්වන තෙක් කන්තලේ සීනි කර්මාන්තායතනයේ මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබූ බවද විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල