2024දී දුම්රිය පීලිපැනීම් 86ක් - පීලි පැනීම් 59ක් දුම්රිය මාර්ගයේ, 27ක් දුම්රිය අංගණවලදී


මේ වසරේ ජනවාරි 01වන දින සිට ඊයේ (29දා) දිනය දක්වා කාලයේදී දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව ඇතිබව වාර්තාවෙයි. ඉන් පීලි පැනීමේ සිදුවීම් 59ක් දුම්රිය මාර්ගවල සිදුව ඇති අතර පීලි පැනීම් 27ක් සිදුව ඇත්තේ දුම්රිය අංගණවලදීය.

මේ අනුව 2020 වසරේ සිට ඊයේ දිනය දක්වා කාලය තුළදී දුම්රිය පීලිපැනීම් 570ක් සිදුව තිබෙන බවත්, මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සමස්ත පීලිපැනීම් සිද්ධීන් 86ක්ද, පසුගිය වසරේදී පීලිපැනීම් 139ක්ද, 2022 වසරේදී පීලිපැනීම් 132ක්ද, 2021 වසරේදී පීලිපැනීම් 115ක් හා 2020 වසරේදී පීලිපැනීම් 98ක්ද සිදුව තිබේ.

පෙරේදා (28දා) පමණක් දුම්රිය පීලිපැනිම් දෙකක් සිදුව තිබෙන අතර, දුම්රිය පීලිපැනීම් නිසා දුම්රිය ගමනාගමනයට බාධා සිදුවීම හා දුම්රිය මාර්ගවලට හානි සිදුවීම සිදුවන බවද පෙන්වා දෙයි.

දුම්රිය මාර්ග නිසිලෙස නඩත්තු නොකිරීම, දුම්රිය මාර්ගවලට දරාගත නොහැකි ආකාරයේ බරක් සහිත දුම්රිය එංජින් ධාවනය කිරීම හා දුම්රිය කර්මික දෝෂවලට ලක්වීම නිසා පීලිපැනීම් සිදුවන බවද දුම්රිය සේවකයයෝ සඳහන් කරති.

දුම්රිය මාර්ගවල පීලිපැනීමකදී අදාළ දුම්රියේ ගමන් වාරය අවලංගු කිරීම් සිදුවන බවත්, තනි මාර්ගයකදී මෙවැනි සිදුවීමක් සිදුවූ විට, අනෙකුත් දුම්රියන්වල ගමනාගමනයට බාධා සිදු වී දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට පවා සිදුවන බවද පෙන්වා දෙයි.

ද්විත්ව මාර්ගයක දුම්රිය පීලිපැනීමක් සිදු වූ විට දුම්රිය ගමන් වාර ප්‍රමාද වීම සිදුවන බවත්, අංගණවල දුම්රිය පීලිපැනීමක් සිදු වූ විට අනෙකුත් දුම්රියන් අංගණයෙන් පිටතට ගැනීම් ප්‍රමාද වන බවද සඳහන් කරයි. 



Recommended Articles