2023දී මත්ස්‍ය නිෂ්පාදනයෙන් දකුණ කප් ගහයි


මෙරට මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ඉකුත් වර්ෂයේදී (2023) වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ, දකුණු පළාතෙන් වන අතර, මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 104,670ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති සමාජ, ආර්ථික දත්ත පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වර්ෂය තුළ දකුණු පළාතෙන් මුහුදු මත්ස්‍යයින් මෙට්‍රික්ටොන් 98,280ක් නිෂ්පාදනය කොට ඇති අතර, නිෂ්පාදනය කොට ඇති මිරිදිය මත්ස්‍යයින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 6,390කි.

දකුණු පළාතට පසු වැඩිම මත්ස්‍ය නිෂ්පාදනයක් සිදුකොට ඇත්තේ, නැගෙනහිර පළාතෙන් වන අතර, නිෂ්පාදනය කොට ඇති මත්ස්‍යයින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 71,525කි. මීට අමතරව බස්නාහිර පළාතෙන් මත්ස්‍යයින් මෙට්‍රික්ටොන් 57,775ක්, උතුරු පළාතෙන් මත්ස්‍යයින් මෙට්‍රික්ටොන් 64,935ක් නිෂ්පාදනය කොට ඇති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

වයඹ පළාත තුළ සිදුකොට ඇති මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 64,715කි. අඩුම මත්ස්‍ය නිෂ්පාදනයක් සිදුකොට ඇත්තේ, සබරගමුව පළාතෙන් වන අතර, එම පළාතේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 1,475ක් බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

චන්දන සමරවික්‍රම



Recommended Articles