2023දී අඩුවෙන් වැඩ කළත් පාස්පෝට් එකේ නිලධාරීන්ට රු. කෝටි 20ක දිරි දීමනා දීලා


විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි ප්‍රමාදයක් පැවතුණද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2023 වර්ෂයේදී දිරිදීමනා වශයෙන් රුපියල් විසිකෝටි අසූහත් ලක්ෂ අනූදෙදහස් නවසිය හැත්තෑ හතරක මුදලක් ගෙවා ඇති බැව් අනාවරණය වී ඇත.

කෝටි 20කට අධික මුදලක් මෙහි නිලධාරීන් සඳහා දිරිදීමනා ගෙවා තිබුණද ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන අයදුම් පතක් ලියාපදිංචි කිරීමෙන් පසු මණ්ඩලික නිලධාරියකු විසින් පරීක්ෂා කර පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සඳහා මාස 10 සිට මාස 14 දක්වා කාලයක් ගත කර තිබේ. එමෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා අයදුම්පත් 321,216 ක් ලැබී තිබුණද එම වර්ෂයේදී නිකුත් කර ඇත්තේ ගමන් බලපත්‍රවලින් 198,392කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 62% කි.

දිරි දීමනා ක්‍රමය වාර්ෂිකව සමාලෝචනය කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම දිරිදීමනා ලබා ගැනීම සඳහා ඉලක්කගත සීමාවක් හඳුන්වා දී තිබුණද දිරි දීමනා ගණනය කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කර නොමැති බවද හෙළි වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා දිරිදීමනා ගෙවීමේ සංශෝධන ක්‍රමය අනුව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වුවද ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලද ලිපිවල පිටපත් විගණනයට ඉදිරිපත් කර නොතිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සංශෝධිත දිරිදීමනා ක්‍රමයේ කොන්දේසි ඇතුළත් කරමින් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් අඩංගු චක්‍රලේඛයක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් කර යුතු වුවද එසේ නිකුත් කර නොතිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයේ වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවකිනි.

චන්දන සමරවික්‍රම



Recommended Articles