10 වැනි පාර්ලිමේන්තුව අද රැස්වෙයි - මුලින්ම කරන වැඩේ


10වැනි පාර්ලිමේන්තුව අද (21දා) පෙරවරු 10ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ පළමු රාජකාරිය ලෙස කථානායකවරයෙකු පත්කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු නැගී සිට නමක් යෝජනා කළ යුතු අතර, අනතුරුව තවත් මන්ත්‍රීවරයෙකු නැගිට එම යෝජනාව ස්ථිර කළ යුතු වේ.

එහිදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වන්නේ නම් කථානායකවරයා තොරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබේ.

අනතුරුව, නාමයෝජනා කළ මන්ත්‍රීවරයා සහ යෝජනාව ස්ථිර කළ මන්ත්‍රීවරයා නව කථානායකවරයාව මැදිකර ගනිමින් කථානායක මුලසුන වෙත සම්ප්‍රදායානුකූලව රැගෙන ඒම සිදු කෙරේ.

එහිදී නව කථානායකවරයා දිවුරුම් දීම සිදුකරන අතර, ඔහුගේ දිවුරුම් දීමෙන් පසු, නවක මන්ත්‍රීවරුන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුකිරීමට නියමිතව ඇත.

අනතුරුව, නවක කථානායකවරයාට පක්ෂ විපක්ෂ සුබ පැතීම් ඉදිරිපත් කළ හැකි අතර, එහිදී සුබ පැතීමට මන්ත්‍රීවරයෙකු නැගී සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ඔහු වෙත අත දිගු කර කතා කිරීම සඳහා අවස්ථාව ලබා දීම සිදුකරනු ලබයි.
මෙම කටයුත්තෙන් පසු නියෝජ්‍ය කථානායකවරයා පත් කිරීම සිදුකරනු ලබන අතර, පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම සිදුකරනු ලැබේ.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.30ට ඉදිරිපත් කරන බැවින් එම වේලාව දක්වා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබේ.



Recommended Articles