තමන් කිසි විටෙකත් මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත්ව නොයන බවත් තමන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා 'අද'ට පැවසීය.
අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති සංචාරයේදී කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කර ඇති බවත්, ඉන් තෝරාගත් අවසන් පුහුණුකරුවන් තිදෙනාගේ නාමලේඛනයට ඔහුගේ නමද ඇතුළත්ව ඇති බවයි.
යෝජිත පුහුණුකාර ධුර කෙටි ලැයිස්තුවට ඔහු සහ තවත් පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම නම් ඇතුළත් කර ඇතැයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන අතර, ඔහු සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන කර්ට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩම්ස් යන පුහුණුකරුවන්ද එම තනතුරට අයදුම් කර ඇති බව වාර්තා වේ. මෙම පුහුණුකරුවන් තිදෙනාටම මෙම තනතුර හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවද පැවැසේ.
කෙසේ වෙතත් තමන් සම්බන්ධයෙන් පළවන වාර්තා සියල්ල අසත්‍ය වාර්තා බවත් තමන් ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවත් හතුරුසිංහ පවසා සිටියේය.
&මට මේ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම දාල යන්න බැහැ. මගේ කොන්ත්‍රාත්තුව සහ මට පැවරුණු වගකීම් තිබෙනවා. මම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අයැදුම් කළා කියන කාරණය පට්ටපල් බොරුවක්. මගේ එහෙම අදහසක් නැහැ* යැයි ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පවසා සිටියේය.