එංගලන්තයේ මතුව ඇති 'කෝවිඩ්-19' නව තත්ත්වය මේ වනවිට දැඩිව උත්සන්න වීම හේතුවෙන් ලබන වසර ආරම්භයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අර්බුදයකට ලක්ව තිබේ.
කෙසේ වෙතත් තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිටම රටවල් දෙකම සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අනුව තවමත් එංගලන්ත සංචාරය නියමිත දිනට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය (22දා) එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සමග පළමු සාකච්ඡාව සිදුකර ඇති අතර, තවදුරටත් තරගාවලිය නියමිත දිනට ආරම්භ කිරීමට සාකච්ඡා වට කිහිපයක් සිදු කිරීමටද දෙරටේම ක්‍රිකට් බලධරීන්ගේ අපේක්ෂාව වී තිබේ.
ජනවාරි මස 14 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ කිරීමට නියමිත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග දෙක සඳහා එංගලන්ත කණ්ඩායම එංගලන්තයෙන් පිටත්වීමට පෙර හෝ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව අතිරේක වෛද්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇතැයිද විශ්වාස කෙරේ.
“මම හිතන්නේ නැහැ අපි සංචාරයට තර්ජනයක් වන ආකාරයෙන් එංගලන්තයේ පවතින මෙම තත්ත්වය පිළිබඳව බැලිය යුතුයි කියලා. ඔව්, මේ අවස්ථාවේදී සෑම කෙනෙක්ම බියට පත්වනවා. එහෙත් අපි මෙහිදී විද්‍යාත්මක සාක්ෂි දෙස බැලිය යුතුයි. අපි එය අවලංගු කළ යුතු යැයි මම හිතන්නේ නැහැ. අපට අමතර පියවර ගත යුතුව තියෙනවා. ඒ වගේම අපට සංචාරය නැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ.” යැයි එම සාකච්ඡාවට සහභාගි වූ වෛද්‍යවරයා වන වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය පවසා සිටියාය.
කෙසේ වෙතත් මීට පෙර සැලසුම් කර තිබුණේ එංගලන්ත ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය ජනවාරි මස 02 වැනිදා මෙරටට පැමිණීමටය.
මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුනට දින තුනක හුදෙකලා නිරෝධායනයකට භාජනය වීමට සිදු වන අතර, ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඍණාත්මක වන්නේ නම් තනි පුද්ගල පුහුණුව ආරම්භ කිරීමට අවසර හිමි වේ.
අවසානයේදී (දින හයකට පසු) කණ්ඩායමක් ලෙස පුහුණු වීම සිදු කිරීමට නියමිතය. දින 10කට පසුව සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ඒකාබද්ධව පුහුණුවීම් සිදු කිරීමට අවසර හිමිවන අතර, දින 03කින් 06කින් සහ 10කින් යනාදී වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණද අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
මේ අතර මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. ක්‍රීඩකයන් සමග කිසිදු ආකාරයකින් මහජනතාවට හෝ ප්‍රාදේශීය සැපයුම්කරුවන්ට සම්බන්ධ වීම අවහිර කර ඇති අතර, එලෙස සම්බන්ධ වන පුද්ගලයන් වේ නම් ඔවුන්ද නිරෝධායනය කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමටද සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් මෙම සංචාරය පැවැත්වීම අර්බුදයකට ගොස් ඇත්තේ එංගලන්තයේ මතුව ඇති "කෝවිඩ් -19" නව තත්ත්වය සහ මේ වනවිට ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණෙන සියලු වාණිජ ගුවන් ගමන් තහනම් කර තිබීම හේතුවෙනි.