ශ්‍රී ලංකාව තුළ 'ඌව ප්‍රිමියර් ලීග්' ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් පැවැත්වෙන බවට ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කරමින් ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වූ පුද්ගල කණ්ඩායමක් ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය පෙරේදා (04දා) වාර්තා කළේය.
'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ, ඌව විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කියැවුණද, ඇත්ත වශයෙන්ම එම තරගාවලිය මොහාලි දිස්ත්‍රික්කයේ සවර නම් ගම්මානයේ පැවැත්වූවක් බවයි.
මේ සම්බන්ධයෙන් පළමුව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරුතුරු අනුව තවත් පුද්ගලයන් හය දෙනෙකු මොහාලි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් තවත් පිරිසක් පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඔවුන් සියලු දෙනාට එරෙහිව නඩු පවරා ඇති අතර, විත්තිකරුවන් අද (06දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබා තිබේ.
ඌව ප්‍රිමියර් ලීග් නැමැති 'විස්සයි20' ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි ප්‍රචාරය කරමින් සිටි අවධියේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේ තමන් හෝ ඒ හා අනුබද්ධ ආයතනයක් එවැනි ක්‍රිකට් තරගාවලියක් පිළිබඳ කිසිදු දැනුම්වත්භාවයක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එමෙන්ම ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳ තමන් කිසිදු වගකීමක් නොගන්නා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම අනවසරයෙන් භාවිත කරන මෙවන් තරගාවලි සඳහා නීති මගින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේය.
යූ ටියුබ්හි සජීවීව පෙන්වා ඇති මෙම තරගාවලියේ තරග සඳහා සහභාගිවී ඇත්තේ පන්ජාබයේ නොදන්නා ක්‍රීඩකයන් බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' වෙබ් අඩවියේ දැක්වෙයි.
ඌව ප්‍රිමියර් ලීග් නමැති ක්‍රිකට් තරගාවලියක් බදුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවට සඳහන් කරමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා සජීවි ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබූ නමුත්, ඒ ආකාරයේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක නොපැවැත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයට දැනුම් දී ඇත්තේ, ඌව ප්‍රිමියර් ලීග් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බලන ලෙසයි. එහිදීද අනාවරණය වී ඇත්තේ එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ නොපැවැත්වෙන බවයි.
මෙම තරගාවලිය සම්බන්ධව ප්‍රචාරය ලබා දුන් ඉන්දීය වෙබ් අඩවි ඒ සඳහා කණ්ඩායම් හතරක් සහභාගි වන බවට දක්වා ඇති අතර, මොනරාගල හොනට්ස්, මහියංගණය යුනිලයන්ස්, වැල්ලවාය වයිපර්ස් සහ බදුල්ල සී ඊගල්ස් ලෙස එම කණ්ඩායම් නම් කර ඇත.
එම කණ්ඩායම්වල නායකයන් ලෙස ටී.එම්. ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ් හා තිලිණ තුෂාර කටයුතු කරන බවද සඳහන් කර තිබේ.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙම තරගාවලිය පිළිබඳ තමන්ට කිසිදු වගකීමක් දැරිය නොහැකි බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම අනවසරයෙන් යොදාගෙන සංවිධානය කරන මෙවන් තරගාවලි සඳහා නීති මගින් කටයුතු කරන බවත් එහි දැක්වෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අප ඊයේ (05දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, ඒ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.