‘කෝවිඩ් - 19’ වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමඟ අන්තර්ජාතික තරගාවලි රැසක් පැවැත්වීම මේ වනවිට අවධානමකට ලක්ව තිබේ. ඇතැම් තරගාවලි සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිතව පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඇතැම් තරගාවලි මේ වනවිටත් කල්දමා තිබේ.
ඒ අනුව ලොව ප්‍රබලම විස්සයි20 (franchise cricket) ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේදී ප්‍රේක්ෂකයන් සහභාගි කරගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් දෙගිඩියාවක් මතුව ඇති බව වාර්තා වේ.
එළඹෙන 29 වැනිදා ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය ප්‍රේක්ෂක සහභාගිත්වය අවම කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි තරගාවලිය පැවැත්වුවත් ක්‍රීඩකයන්ට යම් යම් තහංචි පැනවෙනු ඇති බව වාර්තාවේ.
ඒ අනුව අයි.පී.එල්. තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන් සමග සෙල්ෆි ගැනීම තහනම්වීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම ක්‍රීඩකයන් එසේ සිදුකරන්නට පෙළඹෙන්නේ නම් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් දැනුම්වත් කර ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයන් සඳහන් කරන්නේ මෙවැනි තීරණ විසඳුමක් නොවන බවයි.
මේ අතර ටෙස්ට් තරග දෙකක් සඳහා එංගලන්ත කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතටඅත (handshakes) ලබාදීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
නේපාලයේ පැවැත්වෙන ජනප්‍රියම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ‘එවරස්ට්’ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එරට රජයේ දැනුම්දීම මත කල්දැමීමට තීරණය කර ඇත.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර හෙට (12දා) ආරම්භවීමට නියමිතව තිබෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සැලසුම් කරගත් පරිදි පැවැත්වූවත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාව තුළ සංචාරය කිරීමේදී විශේෂ සෞඛ්යාරක්ෂත වැඩපිළිවෙළක් අනුගමනය කරනු ලබයි. එමෙන්ම දකුණු අප්‍රිකාවද එකිනෙකා සමග අතටඅතදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවති විස්සයි20 ක්‍රිකට් ක්‍රිකට් තරගාවලියේදීද තරග ප්‍රවේශපත් මිලදී ගැනීම සීමාකර තිබූ අතර, එක් තරගයක් සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව හිමිවූයේ එක් අයෙකුට පමණි. ඒ හේතුවෙන් 25,000ක් පමණ ධාරිතාවක් තිබූ ෂේර් බංග්ලා ක්‍රීඩාංගණයට පැමිණියේ පහෙන් එකක් වැනි පිරිසකි.
පාකිස්තානයේ පැවැත්වෙන ප්‍රධානම පළමුපෙළ ක්‍රිකට් තරගාවලිය වන පාකිස්තානු ප්‍රිමියර් ලීග් (පී.සී.එල්) ක්‍රිකට් තරගාවලිය සැලසුම්කරගත් පරිදි කරච්චිහිදී පැවැත්වීමට තීරණය කර ඇතත්, ප්‍රේක්ෂකයන්ගේ හා ක්‍රීඩකයින්ගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට එරට ක්‍රිකට් ආයතනය රජයට සිය එකඟතාව පළකර ඇත.
මේ අතර එළඹෙන 2022 වර්ෂයේ කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලුම තරග දින නියමයක් නොමැතිව කල් දැමීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) හා ආසියානු පාපන්දු සම්මේලනය (AFC) පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව තිබූ ඉදිරි තරගද දින නියමයක් නොමැතිව කල් යනු ඇත. තරගාවලියේ දෙවැනි අදියරේ තරග කිහිපයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට සැලසුම්කර තිබිණි.