ජාතික පැරාලිම්පික් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ ජාතික පැරාලිම්පික් ශූරතාවේදී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා යුද හමුදාව නියෝජනය කරන එච්.ඒ. හෙට්ටිආරච්චි සමත් විය.
තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වූ පෙරේදා (21දා) පැවැති දණහිසින් පහළ (F44) හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ එච්.ඒ. හෙට්ටිආරච්චි මීටර 62.11ක දුරක් වාර්තා කරමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පෙරේදා (21දා) අවසන් වූ මෙම තරගාවලියට ක්රීඩා සමාජ 40ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 800කට අධික ප්රමාණයක් සහභාගි වූ අතර, තරග ඉසව් 180ක් යටතේ තරග පැවැත්විණි.
පැරා ක්රීඩක ක්රීඩිකාවන් සඳහා ශ්රී ලංකාවේ පැවැත්වෙන ප්රධානම තරගාවලිය මෙය වන අතර, මෙය එළඹෙන ඔක්තෝම්බර් මසදී පැවැත්වෙන ආසියානු පැරා ක්රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙසින්ද මෙය පැවැත්විණි.