ක්‍රිකට් තරග පාවාදීම්, දූෂණ සහ වංචා පිළිබඳව විනිවිදභාවයක් ඇතිව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත බව 'අද'ට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (03දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටියේ, එවැනි ඒකකයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්නේ නම්, ක්‍රීඩා අමාත්‍යාංශය ඊට පහසුකම් සපයන බවයි.
එමෙන්ම දූෂණ, වංචා සම්බන්ධයෙන් මෙරට නිලධාරීන් පුහුණු කිරීමටත් තරග පාවාදීම් සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ ක්‍රිකට් තරග පාවාදීම්, දූෂණ වංචා පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ දිනවල සිදු කරන අයිසීසී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙකු සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ගැන සැක සිතී ඔහුගේ දුරකථනය දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇතැයිද වාර්තා වේ.
එසේම ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ සිදුව ඇති පැවසෙන බරපතළ ක්‍රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා රජයේ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ඔවුන්ගේ විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නිසි බලධරයාට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බවත්ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගත් අතර, එම විගණනය ඊයේ (03දා) ආරම්භ කළේය.
මෙම විගණන කටයුතු පැවරී ඇත්තේ, අර්නස්ට් සහ යංග් විගණන සමාගමටයි. මෙහිදී තරග විකාශනය සම්බන්ධයෙන් වූ ගනුදෙනු සහ ඒ ආශ්රිත මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂයෙන් විගණනය කිරීමට නියමිත බව අනාවරණය වේ.