පැතුම් ශ්‍රී විජේරත්න (සිංගප්පූරුවේ සිට)
11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ තීරණාත්මක දෙවැනි වටයේ තරග සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (04දා) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව මූලික වටයේදී සියලු තරග ජයගත් කණ්ඩායම් (ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව සහ හොංකොං) කුසලානය සඳහාද දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් පළඟ කිරුළ සඳහාද, තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් බඳුන කිරුළ සඳහාද තරග කිරීමට නියමිතය.
අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තරගයකට සිංගප්පූරුව සමග මුහුණ දීමට නියමිත අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම, මැලේසියාව සමග හෙට (05දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ටද, අනිද්දා (06දා) හොංකොං සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ටද තරග වැදීමට නියමිතය.
මෙම මස 07 වැනිදා තරගාවලියේ විවේකී දිනයක් වන අතර, අවසන් පූර්ව තරග මෙම මස 08 වැනිදාද, අවසන් මහා තරගය මෙම මස 09 වැනිදාද පැවැත්වීමට නියමිතය. මේ අතර පෙරේදා (02දා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආශීර්වාද පතා විශේෂ බෝධි පූජාවක් සිංගප්පූරුවේ ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
තරගාවලිය ජයගැනීම අපිට එතරම් අපහසු නැහැ - ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා චතුරාංගනී ජයසූරිය
"අපි පෙරේදා දවසේ හොඳින් සූදානම් වෙලා ආවේ ඉන්දීය කණ්ඩායමට හොඳ තරගයක් දෙන්නයි. ඒ වගේම අපිට ඒක කරන්න පුළුවන් වුණා. අපි ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 100කට වඩා රැස් කළා. එසේම අපිට පුළුවන් වුණා ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශතක වාර්තා කළා වගේම, චීන තායිපේ කණ්ඩායමට එරෙහිවද ශතකයක් වාර්තා කරන්න. ඇත්තටම අපේ සැලසුමක් තිබුණේ නැහැ මූලික වටයෙදි ලකුණු 100 බැගින් රැස් කරන්න.
නමුත් කාර්තුවලදි අපිට තේරුණා අපේ සැලසුම් සමග අපිට ලකුණු 100ක් ගන්න පුළුවන් කියලා. ඒවගේම අපිට මෙම තරග දෙක වැදගත් වුණා සිංගප්පූරුව සමග පෙර සූදානමක් ලබාගන්නට. එනිසා අපි කාර්තුවලදී වෙනස්කම් කරමින් සියලුම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදුන්නා. අපි සැලසුම් කරලා තිබුණේ තරගයෙන් තරගය ඉදිරියට යන්නයි. අපිට අද තරගය තියෙන්නේ සිංගප්පූරු කණ්ඩායමත් සමගයි. ඒ තරගයටත් හොඳින් මුහුණ දෙන්න මමත් මගේ කණ්ඩායමත් සූදානමින් ඉන්නවා.
අපිට පොඩි හරි අභියෝගයකට ඉන්නේ සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් දෙක විතරයි. අපේ පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය සමග එකතුවෙලා දිනන්න පුළුවන් තරග සැලසුමක් දාලා තියෙනවා. තරගාවලිය සිංගප්පූරුවේ පැවැත්වෙන නිසා ඔවුන් අපිට විශේෂ අභියෝගයක් දේවි. අපි දන්නවා සිංගප්පූරු ප්‍රේක්ෂකයන් ඔවුන් ක්‍රීඩා කරද්දි වැඩි පිරිසක් ඉන්නවා. එහෙත් අපි ඒ දේවල් සඳහා අවධානය යොමු නොකර අපේ ක්‍රීඩාව අපි කරලා ජයග්‍රහණය කරන්න තමයි අපේක්ෂාව. සිංගප්පූරුව අපිට අභියෝගයක්.*
සිංගප්පූරුව අපිට අභියෝගයක්, එහෙත් අපි දිනනවා - ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස
"ඉන්දීය තරගය වගේම චීන තායිපේ තරගයත් අපි බලාපොරොත්තු වුණාට වඩා පහසු වුණා. ඉන්දීය කණ්ඩායමේ හිටිය බහුතරයක් ක්‍රීඩිකාවන් අඩි 06 අගල් 07ට වඩා උස ක්‍රීඩිකාවන්. අපි ඔවුන්ගෙන් මීට වඩා හොඳ තරගයක් බලාපොරොත්තු වුණා. එහෙත් ඔවුන්ගෙන් තරගයක් නොලැබුණු නිසා අපිට ඔවුන්ට එරෙහිවත් ලකුණු 100ක් වාර්තා කරන්න හැකිවුණා. අපි දැනගෙන හිටියා මෙම තරග අපිට ඉතාම පහසුවෙන් ජයගන්න පුළුවන් තරග කියලා.
අපේ සැලසුමක් තිබුණේ නැහැ ලකුණු 100 ක් ගහන්න. එහෙත් අපේ උපක්‍රමත් සමග අපිට ඒ දේ පහසුවෙන් කරන්න පුළුවන් වුණා. තර්ජිනීට ඉන්දියාව සමග තරගය විශේෂ තරගයක් වුණා. මොකද ඇය අවුරුදු 04 කට පසුව ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ. ඇය නැවතත් කණ්ඩායමට පැමිණීම අපිට විශාල වාසියක් වුණා. මම කාර්තු හතරෙදිම ක්‍රීඩිකාවන් ආදේශ කළා. ඒ හැම උපක්රමයක්ම සාර්ථක වුණා. කණ්ඩායම එකට එකාවන්ව ක්‍රීඩා කළා.
අපිට සිංගප්පූරුව සමග ඊළඟ තරගය ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒ තරගය විතරක් නෙමෙයි මැලේසියාව සමගත් හොංකොං සමගත් අපිට තිබෙන තරග විශේෂයි. මොකද මේ තරග ජයගන්න කණ්ඩායම තමයි තරගාවලියේ කුසලාන වටයේ ඉදිරියට යන්නේ. ඉතින් අපිට එම තරග ජයගන්න මානසික ඒකාග්‍රතාව හරිම වැදගත්. ඒ සඳහා ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉවහල් වෙනවා. එනිසා මම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. දැනට කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික ඒකාග්‍රතාවත් ඉහළින් තිබෙනවා. එනිසා මෙම තරගාවලිය ජයගැනීම අපිට එතරම් අපහසු නැ."