13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) සඳහා සහභාගී වන නිලධාරී මඩුල්ල 92ක් දක්වා ඉහළට ගොස් ඇති බව 'අද'ට වාර්තා වේ. ඒ ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් නිලධාරීන් 40ක් සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියට යොමු කර තිබීම සහ ජාතික ඔලිම්පික් කමිටුවෙන්ද නිලධාරීන් 20ක් සහභාගී කරවන බව දන්වා තිබීම හේතුවෙනි.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් සහභාගී කරවන නිලධාරීන් 40 අතර, වෛද්‍යවරුන් 10ක් වෛද්‍ය කාර්ය මණ්ඩලය 30ක් (හෙදියන්, සම්බාහකවරුන්, භෞත චිකිත්සකවරුන්) ඇතුළත්ය. ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහභාගී වන පිරිස අතර, පරිපාලනයට සම්බන්ධ විවිධ නිලතල දරන නිලධාරීන් 20ක් ඇතුළත්ය.
තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ (අ.පො.ස. සා.පෙළ) විභාගය පැවැත්වෙන අතර, විභාග කාර්ය මණ්ඩලය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 09 දෙනෙකුද නේපාලයේ කත්මන්ඩු නුවර බලා තරගාවලියට සමගාමීව පිටත්ව යාමට නියමිතය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 32 දෙනෙකු සමග මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වන සමස්ත නිලධාරී කණ්ඩායම 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ තවත් නිලදාරීන් කිහිපදෙනෙකුම තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම්වලින්ද තම නම ඉදිරිපත් කර ඇති අතර, ඊට පරිබාහිරව ජාතික ඔලම්පික් කම්ටුවෙන්ද වෛද්‍ය කමිටුවක් ඉදිරිපත් කර තිබේ.
මෙවැනි පසුබිමක් මධ්‍යයේ ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියේ මෙම තරගාවලියට සහභාගී වන සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 100කට වැඩි විය හැකි බවයි.
මෙම සමස්ත පිරිස සඳහා විශාල මුදලක් වැය වෙතැයි මේ වන විට ගණන් බලා තිබෙන අතර, මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් මිලියන 100ට අමතරව තවත් සුවිශාල මුදලක් මේ සඳහා (ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු තරගාවලියට සහභාගී වන සමස්ත කණ්ඩායමටම) වැය වෙතැයි ගණන් බලා තිබේ.
දකුණු ආසියානු තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වියපැහැදම් කිරීමේ ගැටලු මතුවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කප්පාදුවක් (තරගවලින් පදක්කම් ජයගත හැකි තරගකරුවන්ට ප්‍රමුඛත්වය දෙමින්) මීට පෙර සිදු කර තිබුණි.
කෙසේ වෙතත් එම කප්පාදු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කරන තරග ඉසව්වල ව්‍යාපෘති නිලධාරීන් සහ පුහුණුකරුවන්ට සාග් තරගාවලියට යාමේ අවස්ථාව හිමි කරදී ඇතැයි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ චෝදනා කර සිටිති. මෙය නිරපරාදේ මුදල් නාස්තියක් බව පෙන්වාදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, ඔවුන් නොමැතිව ව්‍යාපෘති නිලධාරීන් සහ පුහුණුකරුවන් තරගාවලියට සහභාගී කරවීම ඔවුනට කරන බලවත් අසාධාරණයක් බව පවසති.
එමෙන්ම මීට පෙර අවස්ථා ගණනාවකදී අමාත්‍යාංශයේ මුදලෙන් විවිධ තරග ඉසව් සඳහා විදෙස් සංචාර ගිය පුද්ගලයන්ටම මෙවරද සංචාර ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේම පිරිසක් චෝදනා කරන අතර, මෙතෙක් මෙම වසර තුළදී විදෙස් සංචාර නොගිය ඔවුන්ටද අවස්ථාවක් ලබාදෙන මෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.