මාකස් ස්ටොයිනිස්ගේ අනුකම්පා විරහිත පිතිප්රහාරය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙස පර්ත්හිදී ඊයේ (25දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කඩුලු 07ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
මෙම තරගයේ පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පහතට යාමට ශ්‍රී ලංකාවට සිදු විය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 158ක ඉලක්කය පන්දු 21ක් ඉතිරිකර කඩුලු 03ක් පමණක් දැවී පසුකර යාමට ඔස්ට්‍රේයාව සමත් විය.
ජයග්‍රාහී බලාපොරොත්තුවක සිටි ශ්‍රී ලංකාවේ සියලු සිහින සම්පූර්ණයෙන් බොඳකර දැමීමට ස්ටොයිනිස්ට හැකිවූ අතර, ඔහු සිය මවු ක්‍රීඩාංගණය වූ පර්ත් පිටියේ පන්දු 18කින් ලකුණු 59ක් රැස්කළේ නායක ෆින්ච් සමගින් සිවුවැනි කඩුල්ලට පන්දු 25කින් ලකුණු 69ක් රැස්කරමිනි.
වෝනර් හා ඒරන් ෆින්ච්ගෙන් බලාපොරොත්තු වූ ආරම්භය ඔස්ට්‍රේලියාවට නොලැබුණු අතර, තරගයේ 05(4.1)වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී තීක්ෂණගේ පන්දුවක් හමුවේ දසුන් වෙත උඩපන්දුවක් ලබාදී වෝනර්ට පිටියෙන් ඉවත්ව යාමට සිදුවිය.
එම පීඩනයත් සමග පවර්ප්ලේ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාව රැස්කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 33ක් පමණක් වූ අතර, එයද රැස් කළේ එකඳු හතරේ හෝ හයේ පහරක් නොමැතිවයි.
මෙය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 තරගයක පවර්ප්ලේ අවස්ථාවකදී එකඳු හයේ හෝ හතරේ පහරක් නොමැති වූ පළමු අවස්ථාව විය. එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක මෙවන්නක් සිදු වූ තෙවැනි අවස්ථාව විය. මීට පෙර පාකිස්තානය (කොදෙව් හමුවේ/2014) හා පැපුවා නිව්ගිනියාවද (බ^දේශය හමුවේ/2021) මෙවැනිම පීඩනයකට හසුව තිබුණි.
මේ අනුව පවර්ප්ලේ පන්දුවාර ගණන අවසන් වද්දී ඔස්ට්‍රේලියානු ඉලක්කය පන්දු 84කින් ලකුණු 125ක්ලෙසින් දැක්විණි. එම ඉලක්කයට ළඟාවීමේදී මිචෙල් මාෂ් (18) දැවීගියද, ෆින්ච් සමගින් එක් වූ මැක්ස්වෙල් පන්දු 12කින් ලකුණු 23ක් රැස්කර අහිමිව තිබූ ප්‍රහාරාත්මක වේගය කණ්ඩායමට රැගෙන ආවේය. මෙහිදී මැක්ස්වෙල් දැවීගියත්, ඉන් අනතුරුව ස්ටොයිනිස් පැමිණීමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ඈත් විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී ලකුණු 157/6ක් රැස්කිරීමට සමත් විය.සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් අයර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක මෙම තරගයට කැඳවා තිබූ අතර, ඒ අනුව ඔහු කුසල් මෙන්ඩිස් සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ.
නමුත් තරගාවලිය පුරා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවෙකු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස්ට මෙවර ලකුණු අතරට ඒමට නොහැකි වූ අතර, ඔහුගේ ඉනිම ලකුණු 05කට සීමාවිය.
කෙසේ නමුත් අංක 03 පිතිකරු ලෙස පිටියට එක් වූ ධනංජය ද සිල්වා, පැතුම් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූහ. ඔවුන් දෙදෙනා පන්දු 58කින් ලකුණු 69ක් රැස්කර ලකුණු 75ක් දක්වා ඉනිම ඉදිරියට රැගෙන පැමිණියහ. එහිදී ධනංජය ලකුණු 26ක් රැස්කරගෙන සිටියදී දැවීයාමත් සමග එම සබඳතාව බිඳ වැටුණි.
අඩු ප්‍රහාරාත්මක වේගයක් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගෙද්දී, තරගයේ 15වැනි පන්දුවාරය ක්‍රියාත්මක වනවිට පැතුම් (40) මෙන්ම භානුක රාජපක්ෂටද (07) වැඩි වේලාවක් කඩුල්ලේරැඳී සිටීමට නොහැකි වී තිබුණි.
එමෙන්ම තරගයේ 16වැනි පන්දුවාරය අවසන් වද්දී දසුන් ශානකගේ ඉනිමද ලකුණු 03කට සීමා වී තිබුණි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 5/111ක් ලෙසිනි. ශ්‍රී ලංකාව තරගයේ 18(17.3)වැනි පන්දුවාරයේදී ලකුණු 120 සීමාවට ළඟාවද්දී වනිඳු හසරංගටද ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවිය.
කෙසේ නමුත් අවසන් පන්දුවාර දෙකේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ බලාපොරොත්තු නොවූ පීඩනයක් එල්ල කිරීමට චරිත් අසලංක හා චාමික කරුණාරත්න සමත් වූහ. අවසන් පන්දු 15ට පමණක් මුහුණදීමට ඔවුන් දෙදෙනාට සිදුවුවද, තරගය අවසන් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 150 සීමාවද පසුකර යමිනි. එහිදී ඔවුන් දෙදෙනා අතර ලකුණු 37ක නොබිදුණු සබඳතාවක් ගොඩනැගුණි.
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වැඩි වගකීමක් ගත් චරිත් අසලංක පන්දු 25කින් ලකුණු 38ක් රැස්කළ අතර, ඊට හයේ පහර 02ක් හා හතරේ පහර 03ක්ද ඇතුළත් විය. එමෙන්ම චාමිකද පන්දු 07කින් ලකුණු 14ක් රැස්කළේ හතරේ පහර 02ක්ද සමගිනි.
පන්දු යැවීමේදී හේස්ල්වුඩ්, කමින්ස්, ස්ටාක්, ඒගාර් හා මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් දවාගත්හ. තරගයේ වීරයා ලෙස ස්ටොයිනිස් සම්මා දිනාගත්තේය.
ශ්‍රී ලංකාව 157/6 (පන්දුවාර 20)
පැතුම් නිස්සංක 40 (45, 4x2), චරිත් අසලංක නොදැවී 38 (25, 4x3, 6x2), ධනංජය ද සිල්වා 26 (23, 4x3), චාමික කරුණාරත්න නොදැවී 14 (7, 4x2), මිචෙල් ස්ටාක් 1/23 (4), ඇෂ්ටන් ඒගාර් 1/23 (4)
ඔස්ට්‍රේලියාව 158/3 (පන්දුවාර 16.3)
මාකස් ස්ටොයිනිස් නොදැවී 59 (18, 4x4, 6x6), ඒරන් ෆින්ච් නොදැවී 31 (42, 6x1), ග්ලෙන් මැක්ස්වෙල් 23 (12, 4x2, 6x2), මිචෙල් මාෂ් 18 (17, 4x1, 6x1), මහීෂ් තීක්ෂණ 1/23 (3), චාමික කරුණාරත්න 1/21 (3), ධනංජය ද සිල්වා 1/18 (2.1)