මුදලට තරඟ පාවා දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක පදිංචි ස්ථානයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් නීතීපතිවරයා කළ ඉල්ලීමකට අනුව සචිත්ර සේනානායකට විදේශ ගතවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.
2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවා දීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකුට රුපියල් කෝටි 1 1/4 බැගින් ලබාදීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව ක්‍රීඩා පනත යටතේ මහාධිකරණයේ නඩු පැවරරීමට කටයුතු කරන බව කියමින් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වෙන අන්දමින් අදාළ තහනම් නියෝගය නිකුත් කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශය මාර්ගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිමල් ප්‍රනාන්දු හා ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්ද අධිකරණයේ පෙනී සිටියහ.
ක්‍රීඩා දූෂණ පරීක්ෂණ කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 වසරේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණීල්ලකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා විමර්ශනයක් පැවැත්වූයේ යැයි දැනුම් දුන්නේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ජාලයක් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයිද ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකද එම ජාත්‍යන්තර ජාවාරම්කාර ජාලයට සම්බන්ධ වී කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයිද සඳහන් කළ දිලීප පිරිස් මහතා ක්‍රිකට් ක්‍රීඩක තරිදු රත්නායක සහ ධම්මික ප්‍රසාද් ක්‍රීඩකයින් දෙදෙනෙකුට අදාළ තරගාවලියේදී අඩුවෙන් ක්‍රීඩා කරන්නැයි ඉල්ලමින් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් රුපියල් ලක්ෂ 130 බැගින් ලබාදීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද දැනුම් දුන්නේය.
සචිත්ර සේනානායක මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හෝ රුපියල් කෝටියක දඩයක් නියම කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ හැකකියාව ඇතැයි කී දිලීප පිරිස් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සචිත්ර සේනානායක ඔහු පදිංචි ස්ථානවලින් අතුරුදන්ව ඇතැයිද ඔහු රටින් පලා ගියහොත් විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයිද දැනුම් දුන්නේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා මේ ක්‍රීඩකයා මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේදැයි කළ විමසීමකට පිළිතරු දුන් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් දිලීප් පිරිස් මහතා මේ වන විට ඔහුට ජාත්‍යන්තර ක්‍රකට් තරග ක්‍රීඩා කිරීම තහනම් කොට ඇතයි කීය.
පීරිස් මහතා
තරඟ පාවා දීමට එරෙහිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවත් අදාළ ක්‍රීඩකයාට එරෙහිව අධි චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇතැයිද ක්රීඩකයකුට එරෙහිව පියවර ගන්නා පළමු මෙන්ම තීරණාත්මක අවස්ථාව මෙය යැයිද දැනුම් දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සචිත්ර සේනානායකට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් පනවන්නැයි ඉල්ලීමක්ද කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමිණීල්ලේ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සචිත්ර සේනානායකගේ විදේශ ගමන් මාස 3ක කාලයක් සඳහා අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ බව ආගමන හා විගමන පාලකවරයාටද දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා අධධිකරණයට දැනුම් දීමට නියම කළේය”