මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිපවරක්ම ගොස් ඇති අතර එම නිවස වසා තිබූ බව වාර්තා වේ. එහිදී පොලිස් නිලධාරීන් හිටපු මූල්‍ය ප්‍රධානියා පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇති අතර, ඔවුන්ද ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බව පවසා ඇති බව හෙළි වේ.
ඉහතින් සඳහන් කළ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ. මේ අතර වාර්තා වන්නෙ ඔහුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් නීතිමය සහාය ඉල්ලා ඇති බවයි.
මීට මාසයකට පමණ පෙර මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිලධාරියාව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්තේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබිය යුතු 50%ක මුදලක් මේ වනවිට ලැබී ඇතැයිද අනාවරණය වේ.