ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 15 සහ 16 වැනි ස්ථාන සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැති තරගයෙන් සිංගප්පූරුව පරදා ලකුණු 78-57ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාර්තු හතරේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 23-15, 20-13, 22-12ක් සහ 13-17ක් වශයෙනි.
ඒ අනුව තරගාවලියේ 15 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූ අතර සිංගප්පූරු කණ්ඩායම කිසිදු තරගයක් ජයගැනීමට අසමත්වීම හේතුවෙන් ඔවුනට තරගාවලියේ අවසන් ස්ථානය හෙවත් 16 වැනි ස්ථානය හිමිවිය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දෙවැනි ජයග්‍රහණය මෙයයි.මීට පෙර 2015 වසරට වඩා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.ඔවුන් 2015 වසරේදී කිසිදු තරගයක් ජයගැනීමට අපොහොසත් වූ අතර, ඔවුනට හිමිව තිබුණේ අවසන් ස්ථානයයි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව ජයග්‍රහණ 02ක් සමග 15 වැනි ස්ථානයට පත්වීම සුවිශේෂිය. එමෙන්ම 2018 වසරේ සිංගප්පූරුවට එරෙහිව ලබාගත් ආසියානු කිරුළ ගිලිහී යාමට නොදී දෙවරක්ම රැකගනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග ආරම්භ වීමත් සමග වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩිකාවන් අතර තවදුරටත් පෙරමුණ තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම් සමත්ව වූවාය.
ඒ ගෝල 348ක් වාර්තා කරමිනි. එමෙන්ම ඇය මේවනවිට ජාත්‍යන්තර තරග 100ක් (තරග 101) ක්‍රීඩා කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවටද පත්ව සිටින්නීය. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 100ක් ක්‍රීඩා කර තිබුණේ ලංකාව මෙහෙයවූ නායිකාවන් දෙදෙනෙකු වූ ශෂිකලා සමරසිංහ සහ ගයත්‍රී ලංකාතිලක පමණි.
මීට අමතරව මෙවර තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය සහ දුලාංගි වන්නිතිලක පළමු ස්ථාන දහය අතර සිටීම කැපී පෙනේ.
ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව 'ඒ' කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ අතර, දෙවැනි වටයේදී සිංගප්පූරුව පරාජයට පත් කරමින් ශ්‍රේණිගත කිරීම් තරගවලට පැමිණියේය.
පැතුම් ශ්‍රී විජේරත්න / ලිවර්පූර් නුවර සිට - ඡායාරූප - විමුත් වන්නිතිලක (ක්‍රීඩා අමාත්‍යාංශය)