ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 79 - 49ක පරාජයක්ද, දෙවැනි තරගයෙන් උතුරු අයර්ලන්තයට එරෙහිව ලකුණු 67- 50ක පරාජයක්ද අත්විඳීමට සිදුවිය.
මෙම තරග එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
ශ්‍රී ලංකාව පසුගිය සිකුරාදා (12දා) මුහුණදුන් පළමු තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගෝල 30ක පරතරයකින් පරාජයට පත්වුවද, ශ්‍රේණිගත කිරීම්හි 08 වැනි ස්ථානයේ පසුවන උතුරු අයර්ලන්තයට එරෙහි තරගයේදී ගෝල 17ක පරතරයකින් පරාජයට පත්වීම කාගේත් පැසසුමට ලක්විය.
සිම්බාබ්වේට එරෙහි තරගයේ පළමු කාර්තුව ලකුණු 19-14ක් ලෙසද, දෙවැනි කාර්තුව ලකුණු 19-15ක් ලෙසද ජය ගැනීමට සමත් වූ සිම්බාබ්වේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල ජයද පිළිවෙළින් ලකුණු 15-13ක් සහ 26-07ක් ලෙස හිමි කරගත්තේ පිටියේ පන්දුව අනෙක් ක්‍රීඩිකාවන්ට පිරිනැමීමේදී දැක්වූ දුර්වලතාව හේතුවෙනි.
කෙසේ වෙතත් දෙවැනි කාර්තුව ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ලකුණු උදුරා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර, එක් අවස්ථාවක ඔවුන් සිම්බාබ්වේ පළමු කාර්තුවේ ලබා තිබූ ලකුණු 05ක පරතරය පවා නැති කර ගැනීමට සමත් විය. එහෙත් දෙවැනි කාර්තුවේ සිදු කළ අත්වැරැදි හේතුවෙන් යළිත් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දුරස් විය. මෙම තරගයේදී සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා විදින්නියන් ගෝල විදීමේදී ඉතා හොඳින් එම කර්තව්‍යය සිදු කළ අතර, තර්ජිනී සිවලිංගම්ගේ ගෝල විදීමේ ප්‍රතිශතය සියයට 98ක අගයක පැවැතීම සුවිශේෂීය.
උතුරු අයර්ලන්තයට එරෙහි තරගයේ පළමු කාර්තුව ලකුණු 18-13ක් ලෙසද, දෙවැනි කාර්තුව ලකුණු 16-12ක් ලෙසද, තෙවැනි කාර්තුව ලකුණු 17-12ක් ලෙසද සිව්වැනි කාර්තුව ලකුණු 16-13ක් ලෙසද අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූහ.
ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව 'ඒ' කාණ්ඩයෙන් තරග කරනු ලබන අතර එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය යන රටවල් ක්‍රීඩා කරයි.
තරගාවලියේ පළමු දිනයේදී විචිත්‍රවත් සමාරම්භක උලෙළක් පැවැත්වුණු අතර, ඊට සියලුම රටවල ක්‍රීඩිකාවන් සහ නිලධාරීහු එක්ව සිටියහ.
පැතුම් ශ්‍රී විජේරත්න (එංගලන්තයේ ලිවර්පූල්හි සිට)