ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව අතුරුදන්ව තිබේ.
දුලානිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරිණිය කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් හරහා පොලිසියට දැනුම් ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් ඉන්චෝන් නුවර නම්දොංගු පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14 වැනිදා) රාත්‍රී 11.30 ට පමණ ශ්‍රී ලංකාව බලා ඉන්චෝන් ගුවන් තොටුපලින් පිටත්වීමට නියමිත අතර කොරියානු පොලිස් නිලධාරියකු කියා සිටියේ කණ්ඩායම කොරියාවෙන් පිටත්වීමට පෙර දුලානි සොයාගැනීම සඳහා උපරිම උත්සහ දරන බවය.
හොං කොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළඟ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට පමණ අවසන් වූ අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඉන් අනතුරුව පැවැති පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගය නැරඹීම සඳහා ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියහ.
පිරිමි තරගය නිමාවීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකම ක්‍රීඩක විවේකාගාර බලා ගිය අතර ඉන් අනතුරුව නායිකාව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සඳහාද එක් වූවාය. එහිදී ඇය කණ්ඩායම ලැබූ පරාජයන් පිළිබඳවත්, තරග පරාජය වීම සඳහා කණ්ඩායමෙන් සිදුවූ අතපසුවීම් පිළිබඳවත් කරුණු දැක්වූවාය.
කෙසේ වුවත් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය දෙවරක්ම සිංහල බසින් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම දුලානි සොයන බැවින් ක්‍රීඩාංගණයෙන් පිටත්ව යෑම සඳහා වහාම කණ්ඩායමේ බස් රථය අසලට පැමිණෙන ලෙසය.
තරගාවලිය නිමා වී පැයකට පමණ පසුව පිරිමි සහ කණ්ඩායම් දෙක රැගත් බස් රථය ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල බලා ක්‍රීඩාංගණයෙන් පිටත්ව ගිය අතර පිරිමි කණ්ඩායමේ කළමනාකරු සහ කාන්තා කණ්ඩායමේ කළමනාකාරිණය ක්‍රීඩාංගණයේ රැදෙමින් දුලානි සෙවීම සඳහා පොලිසියටත්, කොරියානු රග්බි නිලධාරීන්ටත් සහාය දැක්වූහ.