රනිල් ප්‍රේමතිලක (හොංකොං සිට)
ආසියානු සත් සාමජික රග්බි තරගාවලියේ හොංකොංහි පැවති පළමු අදියරේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේදී පෙරේදා (15දා) අවසන් වූ මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී ලකුණු 40 – 12ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව ගෝල දිනුම් 05ක් හා උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, පිලිපීනයට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් පමණි.
මූලික වටයේ 'ඒ' කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව ලකුණු 21 – 00ක් ලෙස ජපානය හමුවේ පරාජයවූ අතර, චීනය 31 – 00ක් ලෙස හා චීන තායිපේ 33 – 12ක් ලෙස ජයගැනීමට සමත් විය. ඒ අනුව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. කෙසේ නමුත් එම වටයේදී හොංකොං රාජ්‍ය හමුවේ ලකුණු 31 – 00ක් ලෙස පරාජය වී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
කුසලාන අවසන් මහා තරගයෙන් හොංකොං පරාජය කර ලකුණු 21 – 00ක් ලෙස ජයලැබීමට ජපානය සමත් විය.
මේ අතර මෙහි කාන්තා පළඟ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ එහි අවසන් තරගයේදී තායිලන්තය ලකුණු 22 – 10ක් ලෙස පරාජය විය. ගෝල දිනුමක් හා උත්සාක දිනුම් 03ක් මගින් ශ්‍රී ලංකාව ලකුණු රැස්කරද්දී, තායිලන්තයට සාර්ථක කරගැනීමට හැකිවූයේ උත්සාහක දිනුම් 02ක් පමණි.
පළඟ ශූරතා අවසන් පූර්ව වටයේදී දකුණු කොරියාවට එරෙහිව ලකුණු 21 -15ක් ලෙස ජයලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
මූලික වටයේ 'ඩී' කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මුහුණදුන් පළමු තරගයෙන් කසකස්තානය හමුවේ ලකුණු 36 -00ක් ලෙස පරාජය වූ අතර, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 17 – 05ක් ලෙස ජය ලැබීය. කෙසේ නමුත් චීනය හමුවේ ලකුණු 36 -00ක් ලෙස පරාජය වී කුසලාන වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර, පළඟ ශූරතාව වෙනුවෙන් තරග කිරීමට සිදුවිය.
කාන්තා කුසලාන අවසන් මහා තරගයේදී ජපානය හමුවේ ලකුණු 12 -07ක් ලෙස චීනය පරාජයට පත්විය. මෙම තරගාවලිය අදියර ත්‍රිත්වයකින් සමන්විත වන අතර, මෙහි දෙවැනි අදියර දකුණු කොරියවේදීත්, තෙවැනි අදියර ශ්‍රී ලංකාවේදීත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.