රටවල් 16ක් තරග කරන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් නගරයේ එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්; ක්‍රීඩාංගණයේදී හෙට (12දා) ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙහිදී 'ඒ' කාණ්ඩයෙන් තරග කරනු ලබන අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය හෙට සිම්බාබ්වේ සමග පැවැත්වේ. මීට අමතරව ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවැනි තරගය උතුරු අයර්ලන්ත කණ්ඩායම සමගින් අනිද්දා (13දා) පැවැත්වේ.
තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සති එක හමාරක් එංගලන්තයේ ලන්ඩන් නුවර පෙර පුහුණු සැසි කිහිපයකට සහභාගි වූ අතර, තරගාවලියේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය මෙලෙස අදහස් දක්වා සිටියාය.
Q වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරියන්. ඒ මානසිකත්වයත් සමග මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා ඔබ ඇතුළු කණ්ඩායමේ සූදානම කොහොමද?
ආසියානු ජයග්‍රහණයත් සමග අපි මානසිකත්වය අතින් ගොඩක් ශක්තිමත්. මේ වන විට අපි ඉතා හොඳින් පුහුණුවීම් කරලා ඉන්නේ. අපිට යම්කිසි ජයග්‍රහණයක් ලබන්න හැකි වේවි. ඒ අරමුණ මම ඇතුළු මගේ කණ්ඩායමට තියෙනවා. එනිසා අපි ඉතා හොඳින් පුහුණුවීම් කළා. කණ්ඩායමක් විදිහට ඉතා විශ්වාසයෙන් අපි මෙම තරගාවලියට සූදානම් වෙලා ඉන්නවා.
Q ශ්‍රී ලංකාවේ පවතින දේශගුණයට වඩා ලිවර්පූල් නගරයේ දේශගුණය හාත්පසින්ම වෙනස්. ලෝක කුසලාන තරගාවලියේදී එම අභියෝගයට සූදානම් වුණේ කොහොමද?
ලෝක කුසලාන තරගාවලියට පැමිණීමට පෙර අපේ පෙර පුහුණු තරගාවලියක් නැතහොත් expose සීරිස් එකක් ක්‍රීඩා කළා බොට්ස්වානා රාජ්‍යය සමග. එහෙ අපි ලිවර්පූල් නගරයේ දේශගුණයට වඩා වැඩි සීතල දේශගුණයක තමයි පුහුණුවීම් කටයුතු සිදු කළේ.
ලංකාවේදීත් අපි සීතලට හුරුවෙන්න ශීත දේශගුණය යටතේ ක්‍රීඩා කරන්න නාවලපිටිය වගේ පළාතකට ගිහින් ක්‍රීඩා කළා, පුහුණුවීම් කළා. කොහොමත් අපිට ක්‍රීඩා කරන්න තියෙන්නෙ ගෘහස්ත ක්‍රීඩාංගණයක. ඒ පවතින සීතල තත්ත්ව යටතේ අපි මේ වන විට ක්‍රීඩා කරන්න හුරු වී සිටිනවා. එනිසා අපිට එය ලොකු බලපෑමක් වේවි යැයි මම හිතන්නේ නැහැ.
Q ලෝක කුසලානය කියන්නේ වඩාත් තරගකාරී තරගාවලියක්. ඔබ හිතන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් අභියෝගයක් වන කණ්ඩායම් මොනවාද?
අපට මූලික වටයේදී තරග කරන්න තියෙන්නේ සිම්බාබ්වේ, උතුරු අයර්ලන්ත සහ ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් සමඟයි. අපේ වඩාත් අවධානය යොමුවෙලා තියෙන්නේ පළමුවෙනි සහ දෙවෙනි තරග සම්බන්ධයෙන්. සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරඟ පිළිබඳවයි. තරගාවලියේ අපේ එකම අරමුණ වනුයේ පළමු කණ්ඩායම් දහය අතරට ඒමයි.
ඒ අභියෝගය ජය ගන්න නම් අපි පළමු තරග දෙක අනිවාර්යයෙන් ජය ගත යුතුමයි. ඒ අනුව බලද්දි අපට මේ වන විට තියෙන ලොකුම අභියෝගය සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරග. ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කෙසේ වෙතත් අපි හොඳ තරගයක් ඒ සියලුම කණ්ඩායම්වලට ලබාදෙන්න හැකි උපරිම උත්සාහය, කැපවීම දරනවා.
මම 2011, 2015 ලෝක කුසලාන තරගාවලි සඳහාත් ක්‍රීඩා කළා. ඒ අත්දැකීම් සමග බලන විට මෙවර ඉතා හොඳ පුහුණුවීමක් ලැබුවා. මීට පෙර නම් අපිට පුහුණුවීම් කරන්න ලැබුණේ මාස දෙකයි තුනයි. ඒත් මෙවර අපට මාස ගණනක ඉඳලා පුහුණුවීම් කරන්න අවස්ථාව ලැබුණා. මෙවර අපට මොන ප්‍රශ්න තිබුණත් අපේ පුහුණුකාරිණිය තිලකා ජිනදාස මහත්මිය සමඟ අඛණ්ඩව පුහුණුවීම් කරලා මෙවර අපි ලෝක කුසලානය සඳහා කායිකවත් මානසිකවත් හොඳ සූදානමකින් ඉන්නවා.
Q වසර නවයකට පසුව තමයි ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත්තේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා පුහුණුකාරිණියගෙන් ලැබෙන දායකත්වය කොහොමද?
අපේ පුහුණුකාරිණිය සතුව සැලැසුම් රාශියක් තිබෙනවා. ඒක තමයි ජයග්‍රහණයේ රහස. අවසන් වරට ආසියානු කුසලානය දිනා ගත්තේ 2009 වසරේදී. ඒ අවස්ථාවේදීත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළේ තිලකා ජිනදාස මහත්මිය.
ජිනදාස මහත්මියට ආවේණික වූ පුහුණුවීම් රටාවක් තිබෙනවා. ඇය හැමවිටම කියන්නේ මානසිකව ශක්තිමත් වෙන්න නම් අපේ ශාරිරික යෝග්‍යතාවය හොඳින් තිබිය යුතුයි කියලයි. අපි මහන්සි වෙන්න අපේ ශාරිරික යෝග්‍යතාවය හොඳ නම් අපිට තීරණ ගන්න පහසු වෙනවා. ඒ විදිහට අපි හරි ක්‍රමවේදයක් යටතේ අපේ පුහුණු කටයුතු සිදු කළා.
අපි වෙනදා නොලැබුණු ආකාරයේ ජාත්‍යන්තර තරගවලට සහභාගි වුණා. එහිදී ලංකාවේ තිබුණා කෙන්යානු කණ්ඩායම සහ මැලේසියානු කණ්ඩායම සමඟ තුන්කොන් තරගාවලියක්. ඒ වගේම බොට්ස්වානාවල තරගාවලියක් ලැබුණා. අපි ලන්ඩන් ඇවිල්ලා මෙහේ ක්‍රීඩා සමාජ සමග තරග කිහිපයක් ක්‍රීඩා කළා. ඒ අනුව අපට ජාත්‍යන්තර තරග අත්දැකීම් රාශියක් එහිදී ලබා ගන්න හැකි වුණා. ඒ අත්දැකීම් සමග අපි අපේ තිබෙන අඩුපාඩු හදාගෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට මේ වන විට සූදානම් වෙලා ඉන්නවා.
Q ශ්‍රී ලංකා දැල්පන්දු තරඟ ඉතිහාසයේ වඩාත් සාර්ථක තරගාවලිය ලෙස මෙවර තරගාවලිය පත් කරගන්න ඔබ ඇතුළු කණ්ඩායම සූදානම්ද?
1980 ගණන්වල අපේ වත්මන් කළමනාකාරවරිය වන ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ පුහුණුකාරීත්වය යටතේ ලෝක ශුරතා ජයග්‍රහණ ලබලා තියෙනවා. ඉන් අනතුරුව අපට ලෝක ශූරතා තරඟාවලියක ලැබිලා තියෙන ජයග්‍රහණ ප්‍රමාණය අල්පයි. මෙවර ලොකුම බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථාන 10 අතරට පැමිණීම.
අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා දැල්පන්දු තරග ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තරගාවලිය ලෙස මෙය නිමා කරන්න අපට හැකි වේවි කියලා. පළමු කණ්ඩායම් 10 අතරට එනවා කියන එක දැල්පන්දු තරග ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්. ඒ අභියෝගයට තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ.
Q දැල්පන්දු කණ්ඩායම මෙම තරගාවලියට පැමිණෙන්නේ බාධක රැසක් මැදින්. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඔබ ඇතුළු කණ්ඩායමට ලබාදෙන සහයෝගය කොහොමද?
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට විශාල සහයෝගයක්, දායකත්වයක් ලැබුණා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තරගාවලියේ සූදානමට අපට බොහෝ සේ උදව් කළා. යම් අඩුපාඩු තිබුණත් අපට මේ වගේ තත්ත්වෙකට පැමිණෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරුන්ගෙන් ලොකු දායකත්වයක් ලැබුණා.
ක්‍රීඩා අමාත්‍යාංශයට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, එහි අධ්යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඇතුළු සියලුම දෙනා අපිට මෙම තරගාවලියේදී බොහෝ සේ උදව් කළා. තරගාවලියට පෙර පැවැති පුහුණු තරගාවලියට යන්න සජිත් ඇමැතිතුමා ගුවන් ටිකට්පත් ලබා දීලා බොහෝ සේ උදව් කළා. මෙහිදී මතක් කළ යුතුම කාරණයක් තියෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ සියලු පුහුණුවීම් කටයුතු සඳහා අපිට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්රහක දායකත්වය දක්වනවා. එසේම නම් කියපු නොකියපු බොහෝ පිරිසක් අපට මෙම තරගාවලියට උදව් උපකාර කළා. මේ හැමෝගෙම උදව්වෙන් තමයි අද අපි මෙතන ඉන්නේ.
අපි ලිවර්පූල් නගරයට පැමිණි අවස්ථාවේ ශ්‍රී සම්බුද්ධ විහාරයේ විහාරාධිපති හිමියන් අපට ආශිර්වාද කරලා ආශිර්වාද පූජාවක් පැවැත්වූවා. ඒ වගේම ලිවර්පූල් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ඒ සියලු ශක්තීන් සමඟයි අපේ මෙම තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ.
පැතුම් ශ්‍රී විජේරත්න (එංගලන්තයේ ලිවර්පූල්හි සිට)