ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පෙරේදා (08දා) ලිවර්පූල් නගරයට පැමිණි අතර, ඔවුහු එදිනම සවස පුහුණුවීම් ආරම්භ කළහ. කණ්ඩායම් 16ක් සහභාගි වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පෙර පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මීට සති එක හමාරකට පමණ පෙර එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණි අතර, එහිදී ඔවුහු විශේෂ පුහුණු සැසි කිහිපයකටද සහභාගි වූහ. එම පුහුණු සැසි සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරේදා දිනයෙහි තරගාවලිය පැවැත්වෙන ලිවර්පූල් නගරයට පැමිණියහ.
ලිවර්පූල් නගරයෙහි පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලිවර්පූල් නගරයෙහි ස්ථාපිත ශ්‍රී සම්බුද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. මෙම කර්තව්‍ය සඳහා කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්, කළමණාකාර ට්‍රික්සි නානායක්කාර, පුහුණුකාරිණි තිලකා ජිනදාස සහ වෛද්‍ය දමින්දා අත්තනායක යන මහත්මීහු එක්ව සිටියහ.
මෙහිදී බර්මින්හැම් ජේතවන විහාරාධිපති සහ ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමිගේ මූලිකත්වයෙන් ආශිර්වාද පූජාව පැවැති අතර, ඊට ලිවර්පූල් නගරයෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද සහභාගි වුණි. මීට අමතරව ආශිර්වාද පූජාව සඳහා ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී පූජ්‍ය තිස්සපුර සුගතරතන හිමියන්ද එක්ව සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (10දා) දිනයේද පුහුණු සැසියකට සහභාගි වීමට නියමිත අතර, ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා චතුරංගි ජයසූරිය පවසා සිටියේ තම කණ්ඩායමේ එකම උත්සාහය කෙසේ හෝ පළ්මු කණ්ඩායම් දස දෙනා අතරට පැමිණීම බවයි. ඒ සඳහා උපරිම කැපවීමෙන් පුහුණුවීම් කළ බවත්, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරග ජය ගැනීමට තම කණ්ඩායම සූදානම් බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී තිලකා ජිනදාස මහත්මිය තරගාවලිය සම්බන්ධයෙන් පවසා සිටියේ තම ක්‍රීඩිකාවන් ජයග්‍රහණයට හොඳ මානසිකත්වයකින් පසුවන බවත් තරගයෙන් තරගයට සැලැසුම් සකස් කරමින් ලෝක කුසලාන තරගාවලියේ ඉලක්ක සපුරා ගන්නා බවයි.
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අනිද්දා (12දා) ලිවර්පූල්හි එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ මලාවි කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. එදින ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 04.00ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග පමණක් ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙසින් විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
පැතුම් ශ්‍රී විජේරත්න (එංගලන්තයේ ලිවර්පූල්හි සිට)