මේ දිනවල පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විශේෂ නැරඹුම් කුටි (Marquee) ලබාදීමේදී ටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර අදාළ ටෙන්ඩරය හිමි පුද්ගලයන් කපා දමා වෙනත් හිතවත් පිරිසකට ලබාදී ඇති බව 'අද'ට වාර්තා වේ.
විශේෂයෙන් ඉදිරියේදී ඇරඹීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ (ගාල්ලේ පැවැත්වීමට නියමිත) ටෙන්ඩරය හිමි කරගත් සමාගම අදාළ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් සැපයුම් සහ ටෙන්ඩර් කළමනාකාරවරයා දන්වා ඇත්තේ වෙනත් සමාගමක් ඔවුනට වඩා අඩු ලංසුවක් ඉදිරිපත් කර ඇති නිසා ඔවුන්ට ටෙන්ඩරය ලබාදුන් බවයි.
එහෙත් මෙහිදී සිදුව ඇත්තේ තම හිතවතෙකුට අදාළ ටෙන්ඩරය ලබාදීමට අවශ්‍ය නිසා ටෙන්ඩරය ලබාදී අවසන්වූ පසුවත් පසුගිය දිනයක් දමා අඩු ලංසුවක් හිතවත් සමාගමෙන් මෙම කළමනාකාරවරයා ගෙන්වාගෙන ඇති බවයි. මේ සඳහා වන සියලු ලිපි ලේඛන මේ වනවිට 'අද' පුවත්පත වෙත ලැබී ඇති අතර, මෙම ටෙන්ඩර් මගඩිය හෙළිවී ඇත්තේ ටෙන්ඩරය ලබාදී අවසන්වූ පසුව වුවත්, ඔවුන් එය පසුගිය දිනයක් දමා යොමුකළ ටෙන්ඩර් පිටපත බාරගත් දිනය ලෙස ඔක්තෝබර් 18 යනුවෙන් සඳහන් වීමයි. එහෙත් මෙම ටෙන්ඩරය පසුගිය සැප්තැම්බර් මස නිමා කර අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගමට ලබාදී තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනේකුගෙන්ම මේ සම්බන්ධව විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ, මේවා සියල්ල ක්‍රීඩා අමාත්‍යවරයාගේ වුවමනාව මත සිදුව ඇති බවයි.
එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධව විමසූ කළ අමාත්‍යවරයා පවසා සිටියේ, තමන් එවැන්නකට අනුමැතියක් ලබා නොදුන් බවයි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් ටෙන්ඩර් ලබාදීමේදී අමාත්‍යවරයා පැවසුවයි කියා ඇමතිගේ නමත් විකුණා කටයුතු කර ඇති බවයි.
මෙම නැරඹුම් කුටි ලබාදීමේදී මීට පෙරද ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර හිතවතුන්ට ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, අඩුම ලංසුව ඉදිරිපත් කළ පුද්ගලයන්ට ටෙන්ඩරය ලබාදෙන ලෙසයි.
එහෙත් මේ වනවිට සිදුව ඇත්තේ ඇමතිවරයාගේ එම ප්‍රකාශය ඉදිරියට දමාගනිමින් නිමාකළ ටෙන්ඩර්වලට නව මිලගණන් කැඳවා රහසේම තම හිතවතුන්ට ටෙන්ඩර් ලබාදීමයි.
මෙම විශේෂ නැරඹුම් කුටි ලබාදීමේදී මුලින් ටෙන්ඩරය ලබාගත් සමාගමේ මිල ගණන්වලට අඩුවෙන් සංශෝධිත මිලක් දමා මෙම ටෙන්ඩර් මගඩිය සිදුකර තිබේ. මෙම ටෙන්ඩර් මගඩියට හවුල්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් මෙය කලක් තිස්සේ කරගෙන එනු ලබන මගඩියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්රභූන්ට දෙන කෑම ටෙන්ඩරයත් වෙනස් කරලා
මීට අමතරව ප්‍රභූන් සඳහා ආහාර සැපයීමේ ටෙන්ඩරයත් අඩුම ලංසු ඉදිරිපත් කර ලබාගත් සමාගම නොසලකා හරිමින් වෙනත් සමාගමකට ලබාදී ඇති බව වාර්තා වේ. නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙමින් මෙම ටෙන්ඩරය ලබාගත් සමාගම මේ වනවිට ක්‍රිකට් ආයතනයේ ඉහළම ලොක්කන්ගේ නිවෙස්වල සිදුකරනු ලබන ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර සැපයීම කියන එකම සාධකය මූලික කරගනිමින් මෙම ටෙන්ඩරය ඔවුනට ලබාදී ඇතැයිද චෝදනාවක් වේ.
මේ පිළිබඳව කල සොයා බැලීමේදී එය තහවුරු කරගැනීමට ප්‍රමාණවත් සාධක හමුවූ අතර, ක්‍රිකට් ලොක්කන්ගේ නිවෙස්වල ප්‍රිය සම්භාෂණ සංවිධානය කරන්නන්ට මෙම ටෙන්ඩරය ලබාදීම පිළිබඳව විමතිය දනවන කරුණක් වනුයේ එම ටෙන්ඩර් ලබාදීමත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවා යැයි පැවසීම හේතුවෙනි.
එනිසා මෙම ටෙන්ඩර් මගඩි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙක්ම හවුල්ව ඇති අතර, මේ සඳහා විනිවිදභාවයක් ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයාම සොයා බලා විසඳුමක් ලබාදෙන මෙන් අසාධාරණයට පත් පිරිස් ඉල්ලා සිටිති.