සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 03කින් යුත් විස්සයි20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07දා) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පුරා මාසයකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 තරග 03කට, එක්දින තරග 05කට සහ ටෙස්ට් තරග 02කට ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මීට පෙර ශ්‍රී ලංකාව තුළදී විස්සයි20 තරග 04ක් පවත්වා ඇති අතර, ඉන් තරග 02ක් ශ්‍රී ලංකාවද, තරග 02ක් ඔස්ට්‍රේලියාවද ජය ගෙන තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට මෙරට සංචාරය කළ 2016 වසරේදී විස්සයි20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි20 ජාත්‍යන්තර තරග 22ක් පවත්වා ඇති අතර, ඉන් තරග 09ක් ශ්‍රී ලංකාවද, තරග 12ක් ඔස්ට්‍රේලියාවද ජයගෙන තිබේ. එක් තරගයක් පමණක් ලකුණු සම වීමෙන් නිමාවට පත්ව ඇත.
මීට අමතරව මේ වන විට ශ්‍රී ලංකාව විස්සයි20 ජාත්‍යන්තර තරග 156කට සහභාගී වී ඇති අතර, ඉන් තරග 68ක් ජයගෙන, තරග 83ක් පරාජයට පත්ව ඇත්තේ ලකුණු සමවූ තරග 03ක් සහ විසඳුමක් නොමැති තරග 02ක්ද සමගිනි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 159කට සහභාගී වී ඇති අතර, ඉන් තරග 83ක් ජයගෙන, තරග 70ක් පරාජයට පත්ව ඇත්තේ ලකුණු සමවූ තරග 03ක් සහ විසඳුමක් නොමැති තරග 03ක්ද සමගිනි.
වත්මන් විස්සයි20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම 05වැනි ස්ථානයේද (ප්‍රසාද ලකුණු 251) ශ්‍රී ලංකා කණ්ඩායම 09වැනි ස්ථානයේද (ප්‍රසාද ලකුණු 230) පසුවේ. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රේණිගත කිරීම්හි පියවරක් ඉදිරියට යාමට අතිශයින් වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමද මෙම තරගාවලියට එක්වන්නේ තරුණ ජවය පිරි කණ්ඩායමක් සමගිනි. මෙහිදී පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂගේ දස්කම් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වනු ඇත. මීට අමතරව යම් හෙයකින් චරිත් අසලංකට අවස්ථාවක් ලැබුණහොත් විස්සයි20 කණ්ඩායමේ තම ස්ථානය සුරක්ෂිත කර ගැනීමට ඔහු අනිවාර්යයෙන් තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළ යුතුය.
මීට අමතරව ශ්‍රී ලංකා පිතිකරණය ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක යන ක්‍රීඩකයන්ගෙන් ශක්තිමත් වනු ඇත.
ශ්‍රී ලංකා පන්දු යැවීම මීට පෙර තරගවලට වඩා දියුණු වී ඇති බවක් සහ විවිධාංගීකරණයට ලක්ව ඇති බවක් පෙන්නුම් කරන අතර, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරට වැඩි වගකීමක් හිමිවනු ඇත. මීට අමතරව මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත වැනි පන්දුයවන්නන් නිසි රිද්මයට පැමිණියහොත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පහසුවෙන්ම මෙල්ල කර ගත හැකිය.
කෙසේ වෙතත් මෙම තරගයේදී නවක පිතිකරුවෙකුට (නුවනිඳු ප්‍රනාන්දු වැනි) හෝ නවක පන්දු යවන්නෙකුට (මතීෂ පතිරණ වැනි) අවස්ථාවක් ලබාදෙන්නේ නම්, එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට තවත් තුරුම්පු 02ක් සූදානම් කර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගයට ක්‍රීඩා කරන ඔවුන්ගේ කණ්ඩායම් සංයුතිය මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර, යම් හෙයකින් වර්ෂාවෙන් බාධාවක් නොවුණහොත් ඔවුන් එක් විශේෂඥ දඟපන්දු යවන්නෙකු (ඈෂ්ටන් ඇගාර්) සහ විශේෂඥ වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් (මිචෙල් ස්ටාක්, කේන් රිචඩ්සන් සහ ජොෂ් හෙසල්වුඩ්) ක්‍රීඩා කිරීමට නියමිතය.
ඔවුන්ගේ පිතිකරණ බළඇණියට පිතිකරුවන් 07 දෙනෙකු (නායක එරෝන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටෝයිනිස් සහ මැතිව් වේඩ්) ඇතුළත් අතර, මෙරටදී නිරතුරුව සාර්ථක වී ඇති ඩේවිඩ් වෝනර් සහ ග්ලෙන් මැක්ස්වෙල්ගෙන් ප්‍රවේශම් විය යුතුය. මීට අමතරව ඇඟට නොදැනී ලකුණු ලබාගන්නා ස්ටොයිනිස් වැනි පිතිකරුවන්ද ශ්‍රී ලංකාවට තර්ජනයක් බව නිරතුරුව සිහි තබාගත යුතු අතර, ඔවුන් ලබාදෙන අවස්ථා අත් නොහැරීමටද වග බලාගත යුතුය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලිම් මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන දුෂ්කරම තරගාවලිය මෙය වනු ඇති බවට කිසිදු විවාදයක් නොමැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පවතින අසීරු තත්ත්වය හමුවේ වුවද මෙරටට සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට නිසි ගරුත්වයක් හිමි විය යුතුය.
එසේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස මෙම තරගාවලියට කිසිදු අයුරකින් බාධාවක් වන කිසිදු ක්‍රියාවක් සිදු නොකිරීමට අපි සියලු දෙනා වග බලා ගත යුතු අතර, යම් හෙයකින් එවන් සිදුවීමක් සිදුවුවහොත් එය රටක් වශයෙන් අප සියලුදෙනා අපකීර්තියට පත්වන බව මෙහිලා පැවසිය යුතුය.