වසර 150කට ආසන්න දීර්ඝ ඉතිහාසයක් ඇති මෙරට පාසල් ක්‍රිකට් පිටියේ, පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට පැහැබර බලාපොරොත්තුවක් එක් කරමිනි.
මෙවර පාසල් ක්‍රිකට් වාරයේ මහින්ද විදුහල සහභාගි වූ අවසන් තරගය ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව පැවති තරගයේදී, නවෝද් ලකුණු 409ක් රැස්කිරීමට සමත් විය. පන්දු 327කදී ගොඩනැගුණු නවෝද්ගේ එම විශිෂ්ට ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 39ක් ඇතුළත් විය.
පාසල් ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු ලකුණු හාරසියයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඉහළම ඉනිම ලෙස වාර්තා අතර සටහන්ව තිබුණේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ මයිකල් වැන්හොෆ් ලකුණු 356ක් රැස්කිරීමයි. තෙවැනි කාණ්ඩයේ තරගයක් ලෙස ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලට එරෙහිව 2009 වසරේදී පැවති තරගයකදී ඔහු එම ඉනිම ක්‍රීඩාකර ඇත.
මහින්ද විදුහල් කණ්ඩායමේ නායකයා වන නවෝද්ගේ මෙම අනගි ඉනිම ඉදිරියේ මහින්ද විදුහල පළමු ඉනිමට ලකුණු 679/10ක් රැස්කිරීමට සමත් වූ අතර, එයද පාසල් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම මෙන්ම ලකුණු 600 සීමාව පසුකළ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය. පාසල් ක්‍රිකට් පිටියේ නොමැකෙන සටහනක් තැබූ නවෝද් සිය ඉනිම හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අද හා මෙසේ විස්තර කර සිටියේය.
මේ වගේ (ලකුණු 409) ඉනිමක් කවදාහරි ක්‍රීඩා කරනවා කියලා විශ්වාසයක් තිබුණාද?
ලකුණු 400ක් වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. ඒත් ලකුණු දෙසීයක් වගේ ගන්න පුළුවන් වෙයි කියලා නම් ඔළුවේ තිබුණා.
ඉනිම ගොඩනැගූ ආකාරය පැහැදිලි කළොත්?
මම අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කළේ. වෝටර් බ්රේක් එකෙන්, බ්රේක් එකට මගේ ඉනිම ගොඩනැගුවේ. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ අනෙක් පැත්තේ ඉන්න ක්‍රීඩකයන්. ඔවුන්ද මාත් සමග හොඳ සබඳතා පැවැත්වූවා. ඒ අයගේ සහයෝගය ලැබුණේ නැති නම් මට මේ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ.
ප්‍රතිවාදී ධර්මාශෝක පන්දු යවන්නන් අභියෝගයක් වුණේම නැතිද?
මම ලකුණු සියයක් ගහනකම් වගේ ලොකු පීඩනයක් තිබුණා. නමුත් ලකුණු 150 පසු කළාට පස්සේ මට තිබුණ පීඩනය නැතිවුණා. මම, මගේ සුපුරුදු පහරවල්වලට ගියා. ඉන් පසු ඉනිම ගොඩනගද්දී නම් එතරම් ලොකු අභියෝගයක් වුණේ නැහැ.
පුහුණුකරුවන්ගෙන් ලැබුණු සහයෝගය?
පුහුණුකරුවන් නිසා තමයි මට අද මේ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න හැකිවුණේ. පන්දුවෙන් පන්දුවට ඔවුන් මට උදව් කළා. වැරදි පහරක් එල්ල කළ සෑම අවස්ථාවකදීම ඔවුන් මට උපදෙස් දුන්නා. පුහුණුකරුවෝ හැම වෙලාවෙම කිවුවේ අතහරින්නේ නැතිව දිගටම ගහන්න කියලා.
අද ඔබ ශ්‍රී ලංකා වාර්තාවක හිමිකරුවෙක්, එවැනි ඉනිමක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවේ කාටවත් ක්‍රීඩා කරන්න නොහැකි වූ ඉනිමක් ක්‍රීඩා කරන්න හැකිවීම ගැන. ඔබ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙක්.
එම අත්දැකීම් මෙම ඉනිම ක්‍රීඩා කිරීමේදී බලපෑවේ කෙසේද?
ඔව්, මම දකුණු අප්‍රිකාවේ පැවති යොවුන් (19න් පහළ) ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමෙන් ලොකු අත්දැකීමක් මට ලැබුණා. විශේෂයෙන් කොහොමද කඩුල්ලට හුරුවෙන්නේ කියලා. ඒ ගොඩක් දේවල් එක්ක තමයි මේ වගේ ඉනිමක් ක්‍රීඩා කළේ.
පාසල් ක්‍රිකට් තරගාවලියේ ඔබගේ දක්ෂතා මතක් කළොත්?
ලෝක කුසලාන තරගාවලිය නිසා පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් ක්‍රීඩා කරන්න නොහැකි වුණා. මහින්ද විද්‍යාලය තරග 15ක් ක්‍රීඩා කළත්, මම ක්‍රීඩා කළේ තරග 06කට විතරයි. එහිදී ශතක දෙකක් හා අර්ධ ශතක 02ක් සමගින් ලකුණු 670ක් රැස් කළා. ලකුණු හාරසියයට කලින්, කඳාන ඩී මැසිනොද් විද්‍යාලයට එරෙහිව ශතකයක් (106) හා කොළඹ නාලන්දා හා මරදාන ශා. ජෝශප් විදුහල්වලට එරෙහිව අර්ධ ශතක රැස්කළා.
ඒ වගේම මහින්ද විද්‍යාලය මෙවර තරගාවලියේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් ලැබුවා. මීට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් ලැබුවා. මේ වනවිට පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.
ඔබ 19න් පහළ සංචිතයට ඇතුළත් වුණා කියලා දැනගත් අවස්ථාවේ මොනවගේ හැඟීමක්ද දැනුණේ?
ගොඩක් ලොකු සතුටක් දැනුණා. මොකද පාසල් මට්ටමේ ක්‍රීඩකයෙකුට යන්න පුළුවන් ඉහළම ස්ථානය යොවුන් ලෝක කුසලානය. ඒක ගැන සතුටුයි.
ක්‍රීඩාව ආරම්භ කළ අවධිය?
මම අවුරුදු 10දීම පාසලේ අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළා. ක්‍රීඩා කළ පළමු අවුරුද්දෙදීම විද්‍යාලයීය %ඒ^ කණ්ඩායමට ඇතුළත් වුණා. දෙවැනි වසරෙත් එම කණ්ඩායමටම ක්‍රීඩා කළා. ඉන් පසු තෙවැනි වසරෙදී 13න් පහළ කණ්ඩායමේ (ඒ) නායකත්වය ලැබුවා. ලෝක කුසලාන කණ්ඩායමට අමතරව 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් කණ්ඩායමට දෙවරක් ක්‍රීඩා කළා. ඒ වගේම මම අවුරුදු 16න් පහළ
ශ්‍රී ලංකා සංවර්ධිත සංචිතයට ක්‍රීඩා කළා.
මහින්ද විද්‍යාලයට සම්බන්ධ වීම හා අධ්‍යාපන කටයුතු?
මම පළමු ශ්‍රේණියේ සිට ඉගෙන ගන්නේ මහින්ද විද්‍යාලයේ. මම දැනට උසස් පෙළ කලා අංශයෙන් ඉගෙන ගන්නේ. 2021 වසරේ විභාගයට පෙනී සිටිනවා.
පවුලේ විස්තර කථා කළොත්?
තාත්තා කැළුම් පරණවිතාන, එයා විශ්‍රාමික යුද හමුදා නිලාධාරිවරයෙක්. අම්මා දීප්ති දහනායක. මට ඉන්නවා අයියා හා මල්ලී. අයියත් මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම මල්ලි මහින්ද විද්‍යාලයේ පාසල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනවා.
ඉදිරි වැඩකටයුතු?
ඉදිරියේදී මහා ක්‍රිකට් තරගය (රිච්මන්ඩ් විදුහලට එරෙහි) තිබෙනවා. එහි මහින්ද විද්‍යාලය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම ක්‍රීඩා සමාජ තරගාවලි තිබෙනවා, එහි දක්ෂතා දක්වා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ලොකුම බලාපොරොත්තුව.
උදව් කළ පුහුණුකරුවන්?
ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ අතරින් ලකී අල්මේදා, රොඩ්නි ප්‍රදීප්, සුනෙත් කුඩාහෙට්ටි, වත්මන් පුහුණුකරු යොමාල් සංජීව, අනිල් රිදීගම්මනගෙදර යන පුහුණුකරුවන්. ඒ වගේම වත්මන් කණ්ඩායම් භාර ආචාර්ය නිශාන්ත කුමාර සර්.