ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටු රැස්වීමේදී අක්‍රමිකතා සහිත යෝජනා ප්‍රශ්න කළ ක්‍රිකට් උපසභාපතිවරයෙකුට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු (INTERNATIONAL VENUE MANAGER) තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බවට 'අද'ට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාළ උපසභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
මේ අතර, ඊයේ (15දා) දිනයේදී මෙම පැමිණිල්ල විභාග කිරීමට දින යොදා තිබුණද එය අද (16දා) දක්වා කල් දමා ඇති බවට වාර්තා වේ. අද දිනයේදී මෙම දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නියමිත බවද හෙළිවේ.
ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමණාකරු අයථා අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සාමාජිකයෙකු ලෙස ඔහුගේ පුත්‍රයාවද ඔස්ට්‍රේලියාවට රැගෙන යෑමට දැරූ උත්සහයකට සහ ඔහුගේ අක්රමිකතාවලට මෙම උපසභාපතිවරයා දැඩිව විරුද්ධ වීම හේතුවෙන් මෙලෙස තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව අනාවරණය වේ.
මෙහිදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ඔස්ට්‍රේලියානු සමාගමකින් (SOKHI AUSTRALIA PTY LTD) එහි නිෂ්පාදනය කෙරෙන %සුපර් සොපර්^ යන්ත්‍ර නිරීක්ෂණය කිරීමට නොවැම්බර් මස 07 වැනිදා සහභාගි වන බව සඳහන් කරමින් වීසා අයදුම් කිරීමේ ලිපියක්ද ලබාගෙන ඇති අතර, එම ලිපියේ ඔහුගේ පුත්‍රයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස සඳහන් කර තිබීම බරපතළ ගැටලු මතු කරවන්නකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 'සුපර් සොපර්' යන්ත්‍ර ගෙන්වනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් වන අතර, අඩුම තරමින් ඔවුන්ගෙන් සාමාජිකයෙකු හෝ මෙම %සුපර් සොපර්^ යන්ත්‍ර නිපදවන කර්මාන්තශාලාව නැරඹීමට නොයාම මෙහිදී විමතිය දනවන කරුණක් වී තිබේ. මෙම සුපර් සොපර් යන්ත්‍ර කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මෙන්ම එහි ජාතික සංවර්ධන කමිටු කළමනාකරුද සහභාගි වන බවද දන්වා තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාමය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් හෝ වෙනත් වගකිව යුතු පාර්ශ්වයක් පරීක්ෂණයක් හෝ පැවැත්වීමට නියෝග කර නොමැති අතර, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ක්‍රිකට් ලොක්කන්ගේ ගජ මිතුරෙකු වීම හේතුවෙන් ලොක්කෝ මෙලෙස නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද හෙළි වේ.
මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් උපසභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු විධායක කමිටුව දැනුම්වත් කර ඇති බව දැනගන්නට තිබෙන අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටද මේ පිළිබඳව පැමිණිල්ලක් යොමු කර ඇති බවට වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු සහ ඔහුගේ පුත්‍රයා රැගෙන යෑමට අනුමැතියක් ඉල්ලා ඇතත් එම අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බවටද වාර්තා වේ.
ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු එංගලන්ත සවාරියකුත් ඉල්ලලා
මේ අතර, ජාත්‍යන්තර ක්‍රීඩාංගන කළමනාකරු එංගලන්තයේ පැවැත්වෙන තවත් කර්මාන්ත ශාලාවක් සහ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා මෙම මස 26 වැනිදා සිට එංගලන්තයේ සංචාරය කිරීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා තිබේ.
ඒ මෙරට ක්‍රීඩාංගණවලට අවශ්‍ය අනෙකුත් යන්ත්‍රෝපකරණ ගෙන්වීම සඳහා බව පවසමිනි. කෙසේ වෙතත් මෙම ඉල්ලීමටද ඉහත තර්ජනයට ලක්වූ උපසභාපතිවරයා පරිපාලන කමිටු රැස්වීමේදී දැඩිව විරුද්ධ වී ඇති බව වාර්තා වේ.
මෙහිදී මතුවන බරපතළම ගැටලුව වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වුණු උපසභාපතිවරයෙකුට එහි සේවකයෙකු තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති පසුබිමක අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම කෙසේ වෙතත් චෝදනා පත්‍රයක් හෝ ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මැලි වීමයි. අද වනවිට ඇතැම් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ විනය ඒ තරමටම පිරිහී තිබීම කනගාටුවට කරුණකි.