ශ්රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් රැස්කිරීමට සමත්විය.
දිමුත් කරුණාරත්න සමගින් ළහිරු තිරිමාන්න ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 209ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වූහ.
එහිදී දිමුත් සිය 12 වැනි ටෙස්ට් ශතකයට හිමිකම් කියමින් ලකුණු 118ක් රැස් කළේය. ඔහු මෙහිදී සිය ටෙස්ට් ලකුණු දෙදහසේ සීමාව පසුකරද්දී තිරිමාන්න ලකුණු දෙදහසේ සීමාව පසුකිරීමට සමත්විය.
ශ්රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දිමුත් දැවී ගියේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේදී කඩුලු රකින ලිටන් දාස් අතට උඩපන්දුවක් ලබා දෙමිනි. තිරිමාන්න මෙහිදී සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. තිරිමාන්න මේ සමගින් ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම් 6 තුළදී අර්ධ ශතක 4 ක් හා එක් ශතකයක් වාර්තා කරගෙන ඇත.
මෙහිදී දිමුත් මෙන්ම තිරිමාන්න ශතක රැස්කිරීම සැලකෙන්නේ ශ්රී ලංකා ආරම්භක පිතිකරු යුගලයම එකම ටෙස්ට් ඉනිමකදී ශතක රැස්කළ තෙවැනි අවස්ථාව ලෙසයි.
මීට පෙර සනත් ජයසූරිය හා මාවන් අතපත්තු පාකිස්තානයට හා (2000/මහනුවර) සිම්බාබ්වේට (2004/හරාරේ) එරෙහිව දෙවතාවකදී මෙම දක්ෂතාව දක්වා තිබුණි.
එමෙන්ම මේ වසරේ මේ දක්වා පැවති ටෙස්ට් තරග අනුව ලොව ඉහළම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තිරිමාන්න (ලකුණු 648) දෙවැනි ස්ථානයේද, දිමුත් කරුණාරත්න (ලකුණු 558) තෙවැනි ස්ථානයේ පසුවෙයි. එහි ඉදිරියෙන් එංගලන්තයේ ජෝ රූට් (794) රැඳී සිටියි.