ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 08ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම මස 16වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය සිරස ටීවී නාළිකාව හිමිකරගෙන තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ සියලු තරග අඛණ්ඩව මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සිරස ටීවී උදාකර දී ඇත.
වසර 15කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක සජීව අත්දැකීම මෙරට ප්‍රේක්ෂකයන්ට උදා කරදීමට කැපිටල් මහරාජා සමූහයේ රූපවාහිනී නාළිකා වන සිරස ටීවී, ටීවී වන් සහ ශක්ති ටීවී නාළිකා කටයුතු කරන අතර, සිරස ටීවී නාළිකාවෙන් ලෝක කුසලානයේ සමස්ත තරග 45ම සජීව ලෙසින් අඛණ්ඩව විකාශය කිරීමට නියමිතය. මීට අමතරව ටීවී වන් සහ ශක්ති ටීවී නාළිකා ඔස්සේ ලෝක කුසලාන තරගවල විශේෂ අවස්ථා සහ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය. ඒ සඳහා විශේෂ වැඩසටහන් රාශියක් මෙවර ඇතුළත් කිරීමට කැපිටල් මහරාජා සමූහය තීරණය කර තිබේ.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල රූපවාහිනී තරග විකාශන අයිතිය හිමි කර ගැනීම වෙනුවෙන් ඊයේ (11දා) කොළඹ හිල්ටන් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැති අතර, ඊට කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කොන්ජියා, සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, එම්ටීවී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්හි සමූහ අධ්යක්ෂ සුසාර දිනාල්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.
මීට අමතරව 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන ධම්මික ප්‍රසාද්, මිනෝද් භානුක, තරංග පරණවිතාන සහ ෆර්වීස් මහරූෆ් යන හිටපු ක්රීඩකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා පවසා සිටියේ අයිසීසීය මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් දමා ඇති බවත්, ඔවුන් ඒවා දැඩිව නිරීක්ෂණය කරන බවත්ය.
මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය ලබාදීමේදී අයිසීසීය දැඩි නීතිරීති මාලාවක් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ මූලිකම ඉල්ලීමක් තමයි ප්රේක්ෂතයන්ට තරගාවලියේ සියලුම තරග අඛණ්ඩව සජීව ලෙසින් නැරඹීමේ අවස්ථාව උදා කරදීම. මීට පෙර අයිසීසීයට පවා පැමිණිලි ලැබී තිබුණා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන නිසා තරගාවල පන්දු හයම නැරඹීමේ අවස්ථාව උදාවෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙවර අපි මෙරට ප්‍රේක්ෂකයන්ට එම සජීව අත්දැකීම අඛණ්ඩව ලබාදෙන බවට පොරොන්දු වෙනවා, යැයි වැඩිදුරටත් පැවසීය.