කේන් විලියම්සන්ගේ ඉවසිලිමත් ඉනිම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට නවසීලන්තය සමත්විය.
ඒ බර්මින්හැම්හිදී ඊයේ(19දා) පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 04කින් පරාජයට පත්කරමිනි. වර්ෂාවෙන් බාධා පැමිණි මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 49කට සීමා විය.
අවසන් පන්දු වාරය දක්වාම තියුණු වූ මෙම තරගයේදී දකුණු අප්‍රිකාවෙන් එල්ල වූ ලකුණු 242ක ඉලක්කය පසුකර යෑමට නවසීලන්තය සමත් වූයේ පන්දුවාර 48.3කදීය. අවසන් පන්දු වාරයේදී ලකුණු 08ක් ජයග්‍රහණයට අවශ්‍ය වූ අවස්ථාවේදී හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණයට මග පාදාගත් නායක කේන් විලියම්සන් ඉවසිලිවන්තව ලකුණු 106ක් රැස් කළේ පන්දු 138 ක් වැය කරමිනි. එය ඔහුගේ 12 වැනි එක්දින ශතකය වූ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත පිතිකරුවෙකු විසින් වාර්තා කළ පළමු ශතකයද එය විය.
නවසීලන්ත ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිකරණයක නියැළුණු කොලින් ඩි ග්රෑන්හෝම් පන්දු 47කදී ලකුණු 60ක් රැස් කළේ නවසීලන්ත ජයග්‍රහණය පහසු කරමිනි. විලියම්සන් හා ග්රෑන්හෝම් එක්ව හයවැනි කඩුල්ලට පන්දු 89කදී එක්කළ ලකුණු 91ක සබඳතාව නවසීලන්ත ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයද විය.
මාටින් ගප්ටිල් හා කොලින් මුන්රෝ නවසීලන්ත ඉනිම ආරම්භ කළ අතර, නවසීලන්ත ආරම්භයද එතරම් සාර්ථක නොකරමින් මුන්රෝ ලකුණු 09කට දැවී ගියේය. නමුත් ඉන් අනතුරුව මාටින් ගප්ටිල් සමගින් එක් වූ නායක කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කළේය.
කෙසේ වෙතත් ගප්ටිල්ගේ දැවී යෑමත් සමගින් නවසීලන්ත ඉනිමේ කඩුලු 03ක් ලකුණු 08ක් තුළ බිඳ වැටුණේ ලකුණු පුවරුව කඩුලු 04ට ලකුණු 80ක් ලෙසින් සනිටුහන් කරමිනි. නමුත් නවසීලන්ත ඉනිම කඩා වැටීමට ඉඩ ලබා නොදුන් කේන් විලියම්සන්, ජේම්ස් නීෂාම් සමගින් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් එක් කිරීම නවසීලන්ත ඉනිමට නව පණක් එක් කළේය.
නවසීලන්තයට පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කළ ක්‍රිස් මොරිස් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 49කට ප්‍රතිවාදී කඩුලු 03ක් බිඳ හෙළීමට සමත්වුවද එය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ආරම්භය පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ද. අප්‍රිකාව සිය පන්දුවාර 49 අවසානයේ කඩුලු 06ක් දැවී ලකණු 241ක් රැස් කළේය.
හෂීම් අම්ලා හා ක්වින්ටන් ඩි කොක් ද. අප්‍රිකානු ඉනිම ආරම්භ කළද, මුළු ලකුණු සංඛ්‍යාව 09ක් වනවිට ඩි කොක් දැවී ගියේ ලකුණු 05ක් පමණක් ලබාගනිමිනි. අනතුරුව අම්ලා හා නායක ෆෆ් ඩු ප්ලෙසි එක්ව අර්ධ ශතක සම්බන්ධතාවක් පැවැත් වූ අතර, ඩු ප්ලෙසි දැවී ගියේ ලකුණු 23කටය.
අනතුරුව අම්ලා සමගින් එක් වූ එයිඩන් මාක්රම් තෙවැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් පැවැත්වීය. අම්ලා මෙහිදී සිය එක්දින දිවියේ 38 වැනි අර්ධ ශතකය රැස්කළ අතර ඊට අමතරව මෙහිදී සිය එක්දින ලකුණු 8000 සීමාව පසු කර යෑමටද හෙතෙම සමත් වූයේ එම සීමාව දෙවැනි අඩුම ඉනිම් ගණනකින් පසුකළ පිතිකරුවා බවට පත්වෙමිනි. අම්ලා එම සීමාව පසුකිරීමට වැය කොට ඇත්තේ ඉනිම් 176 ක් පමණි. එහි පෙරමුණ ඉනිම් 175කින් එම සීමාවට ළඟා වූ ඉන්දියාවේ විරාත් කෝලිට හිමි වී තිබේ.
අම්ලාගේ දැවී යෑමෙන් අනතුරුව එයිඩන් මාක්රම්ටද සාර්ථක වීමට නොහැකි වූ අතර, පන්දුවාර 32කදී කඩුලු 04ක් දැවී ගිය දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 136ක් ලෙසින් දැක්විණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව රසී වැන් ඩර් ඩුසෙන් හා එක්වූ ඩේවිඩ් මිලර් පස්වැනි කඩුල්ලට පන්දු 75කදී ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට සමත්විය.
මෙහිදී ඩේවිඩ් මිලර් ලකුණු 36ක් රැස් කරද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ වැන්ඩර් ඩුසෙන් පන්දු 64කදී ලකුණු 67ක් රැස් කළේය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් ලොකී ෆර්ගසන් කඩුලු 03ක් දවාළීය. නවසීලන්තය මෙවර තරගාවලියේදී තරග 05කට සහභාගි වී ඉන් 04ක් ජයගෙන ඇති අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිනි. එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමගින් ඔවුන් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ නැවතත් හිමිකර ගැනීමට සමත්විය.
ද. අප්‍රිකාව 241/6 (පන්දුවාර 49)
රසී වැන්ඩර්ඩුසෙන් 67 (83,4x4) හෂීම් අම්ලා 55 (83,4x4), එයිඩන් මාක්රම් 38 (83,4x4), ලොකී ෆර්ගසන් 3/59 (පන්දුවාර 10), කොලින් ඩි ග්රෑන්ඩ්ඩෝම් 1/33 (පන්දුවාර 10)
නවසීලන්තය 245/6 (පන්දුවාර 48.3)
කේන් විලියම්සන් 106 (138,4x9,6x1), කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 60 (47,4x5,6x2), මාටින් ගප්ටිල් 35(59,4x5), ක්‍රිස් මොරිස් 3/49 (පන්දුවාර 10), කගීසෝ රබාඩා 1/42 (පන්දුවාර 10)