විස්සයි විස්ස ලෝක කුසලානයේදී බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් රැවටීමට කළ පන්දු රැකීමක් ගැන බංග්ලාදේශයෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත.
තරගයේ හත්වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම සිදුවූ අතර එහිදී පන්දුවට පහරදෙමින් සිටි ක්‍රීඩක ලිටන් දාස් ඩීප් පොයින්ට් වෙත පන්දුව ස්ථාන ගත කිරීමක් කලේය. එහිදී එහි රැඳී සිටි ඉන්දීය පන්දු රකින අර්ෂ්දීප් සිං විසින් එම පන්දුව රැගෙන පන්දු යවන්නා වෙත යොමු කලේය. නමුත් එම අවස්තාවේ පිටියේ රැඳී සිටි කෝලි තමන් අත ඇති පන්දුවක් පන්දු යවන්නා වෙත යොමු කරන ආකාරයට මවා පෑමක් සිදු කලේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති වලට අනුව පන්දු රැකීමේ මවාපෑම වරදක් වන අතර ඒ සඳහා අසාදු ලකුණු 5 ක දඩුවමක්ද ලබාදීමට හැක. නමුත් එම අවස්ථාවේ පිටියේ රැඳී සිටි විනිසුරුවරු වන මාරියාස් එරස්මුස් හා ක්‍රිස් බ්‍රවුන්, කෝලිගේ මෙම ක්‍රියාවට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව බංග්ලාදේශය චෝදනා කරති. මෙම තරගයෙන් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුණු 5 ක පරාජයක් ලැබීමටද බංග්ලාදේශයට සිදුවිය.