ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ වන විට බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්ව සිටින යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24දා) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සංචාරක කොන්ත්‍රාත්තුවේ දක්වා තිබෙන, ක්‍රීඩක විනය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවක් කමිල් මිෂාරව බංග්ලාදේශයෙන් ආපසු කැඳවීමට හේතු වී ඇත.
ඒ අනුව මිෂාර ආපසු පැමිණීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් විනය නීති උල්ලංඝන කිරීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා, එම පරීක්ෂණයේ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටියි.
බංග්ලාදේශ සංචාරය සඳහා එක්වූ 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි 21 හැවිරිදි කමිල්, ශ්‍රී ලංකාව සිදුකළ ඔස්ට්‍රේලියානු සංචාරයේදී විස්සයි20 වරම් දිනා ගත්තේය. කෙසේ නමුත් එහිදී මෙන්ම ඉන්පසුව සිදුකළ ඉන්දීය සංචාරයේදීද දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. මේ දක්වා ජාත්‍යන්තර විස්සයි20 තරග 03කට පමණක් ක්‍රීඩා කර ඇති මිෂාර රැස් කර ඇත්තේ ලකුණු 15ක් පමණි.
අන්තර් ක්‍රීඩා සමාජ තරග බිමේදී පානදුර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කරන ඔහු, පළමු පෙළ 10කට පමණක් ක්‍රීඩාකර අර්ධ ශතක 06ක් සමගින් ලකුණු 666ක් රැස්කර ඇත.