ස්වීඩන සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්රාහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා ඇත. ඒ මෙම වසරේ පැවැත්වෙන යුරෝපානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියටයි.
මෙම මස අවසන ආරම්භ වෙන මෙම තරගාවලියේදී ස්වීඩනය, බෙල්ජියම හා අසර්බයිජානය සමගින් තරග වැදීමට නියමිතය. ස්ලාටන් ස්වීඩන කණ්ඩායමට කැඳවීමක් ලැබෙන්නේ වසරකට පසුව වන අතර විශේෂත්වය වන්නේ මේ වන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවීමයි.
නමුත් තවමත් මනා ශාරීරික යෝග්‍යතාවකින් පසුවන ස්ලාටන් මේ වන විට ඉතාලියේ ප්‍රභල පාපන්දු කණ්ඩායමක් වන ඒ.සී. මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරයි.
ස්වීඩනය වෙනුවෙන් පාපන්දු පිටියේ වැඩිම අන්තර්ජාතික ගෝල සංඛ්‍යාවක් වාර්තා කර ඇති ස්ලාටන් තරග 121 කදී ගෝල 62 ක් වාර්තා කර ඇත. ඔහු ස්වීඩනය වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවේ.
2001 වර්ෂයේදී ස්වීඩන පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ස්ලාටන් 2016 වර්ෂයේදී සිය සමුගැනීම ප්‍රකාශයට පත් කලේය.
නමුත් ඔහු 2021 වර්ෂයේදී නැවතත් කණ්ඩායමට පැමිණියේ එම වර්ෂයේදී පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියටයි. නමුත් ස්වීඩනයට එහිදී ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවී ගියේය.
පාපන්දු පිටියේ අති දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ස්ලාටන් නෙදර්ලන්තයේ අයැක්ස්, ඉතාලියේ ජුවෙන්ටස්, ඉන්ටර් මිලාන්, ඒ.සී මිලාන්, ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන්, එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, ඇමරිකාවේ ලොස් ඇන්ජලීන් ගැලැක්සි ආදී කණ්ඩායම් රාශියකට ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වා ඇත.