කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලබන වසරේ කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට කණ්ඩායම් 10ක් තරග කිරීමට නියමිතව තිබූ අතර, එය මෙම වසරේ ජූලි මස 03දා සිට 19දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
2021 පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 03ක් සුදුසුකම් ලබා ගැනීමට නියමිත අතර, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා නවසීලන්තය මේ වනවිටත් ඊට සුදුසුකම් ලබා තිබේ.
කලාපීය සුදුසුකම් තරගාවලි හරහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් වන්නේ සිම්බාබ්වේ, තායිලන්තය, පැපුවා නිව්ගිනියාව, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදයයි. මෙම රටවලට අමතරව සුදුසුකම් ලැබීමේ තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ අයර්ලන්තය යන කණ්ඩායම් තරග කිරීමට නියමිතය.
මේ අතර 2022 වසරේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් කල් දමා ඇති අතර, කලාපීය සුදුසුකම් ජූලි මාසයේදී ඩෙන්මාර්කයේදී ආරම්භ වීමට නියමිතය.