තමන්ට ඩොලර් 15000ක් ගැනීමට අවශ්‍ය නොමැති බවත්, අවශ්‍ය නම් ලෝක කුසලාන අවසන් තරගය පරාජයට පත් වී ඩොලර් මිලියන 15ක් පමණ ගැනීමට තිබූ බවත් ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ කොළඹදී ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අර්ජුණ රණතුංග මහතා,
"පසුගිය දවසක සුමතිපාල අපිට දෝෂාරෝපණය කරල තිබ්බ අරවින්දයි මමයි ලංකාවේ පළවැනියට තරග පාවා දීමට ලක්වෙලා ඔහු අපිට දඬුවම් කළේ නෑ කියල. 1994 ලක්නව් තරගයකදී චෝදනාවක් එල්ල වුණා. ඊට පස්සෙ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු කියල කෙනෙක් ඇවිල්ල ඔහු තමයි ඒ පරීක්ෂණය සිදුකළේ. ඔහු රාජ්‍ය නීතිඥයෙක්. ඒ පරීක්ෂණය අවසන් වුණාට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාවයි අරවින්දවයි නිදොස් කොට නිදහස් කළා.
මේ රටේ හැමදෙනාම මේක දන්න සිද්ධියක්. ඒ කාලේ සුමතිපාල හිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති විදිහට. මට මතකයි ඔහු කිව්වා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ සියලු දේවල් බලා ගන්නවා කියලා. පසුව අපි කිව්වා අපි අපේ පෞද්ගලික නීතිඥ මහත්වරුත් එක්ක මේ ගැටලුවට මුහුණදෙනවා කියලා. අපේ නීතිඥ මහත්වරු 50ක් විතර ඒ පරීක්ෂණයට සහභාගි වුණා. පසුව අපි නිදොස් කොට නිදහස් කළා.
ඩොලර් 15000ක් ගන්න එක වෙළෙඳ දැන්වීමකට යන්න තිබ්බා. ඒත් අපි එහෙම කළේ නෑ. අපිට ඩොලර් 15000 එච්චර ලොකු නෑ. මේ රටේ එක මනුස්සයෙක්වත් අපිට ඇඟිල්ලක් දික් කරන්නේ නෑ. ක්‍රීඩකයෝ හැටියට අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.
අපි ක්‍රිකට් වෙනුවෙන් සෑහෙන කැප කිරීම් කළා. මම ඇඟිල්ල කඩාගෙනත් ක්‍රිකට් ගහල රට දිනෙව්වා. අපි කවුරුවත් තරගයක් දිනන්න සල්ලි ඉල්ලුවේ නෑ. ඒ නිසයි අපිට දිනන්න පුළුවන් වුණේ. ඔය ඩොලර් 15000 අපිට ගන්න ඕන නෑ. ඩොලර් මිලියන 15ක් විතර ගන්න තිබුණා ලෝක කුසලාන අවසන් තරගය පරාජය කරන්න අපි දෙන්න එකතු වුණා නම්. ඒත් අපිට එහෙම අවශ්‍ය නෑ. අපි හැමදාම රට දිනවන්න ක්‍රිකට් ගහපු අය. අපි දෙන්නා ක්‍රිකට් ගහපු විදිහ මේ රටේ මහජනතාව දන්නවා. අනික ඡන්ද බලයක් නැති පස්ස දොරෙන් ආපු පුද්ගලයන්ට අපි උත්තර දෙන්න ඕන නෑ. අපි ඔය චෝදනාවලට සැලෙන්නේ නෑ." යැයි පැවසීය.