ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශයට එරෙහිව ප්‍රථම වටයේ මුහුණදුන් තරග දෙකෙන්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත්වුවද තේරීම් කමිටු සභාපතිවරයා ජාතික ක්‍රිකට් තේරීම් අමතක කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ පිරිස්වල බලවත් අප්‍රසාදයට පත්ව තිබේ.
එනම් තරග 8 කින් (එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 5ක්) සමන්විත ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලැබ්රෝයි මහතා ඊයේ (24දා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාපිටියේ පැවැති එම විස්සයි-20 කාන්තා තරගයේදී තරග තීරක රාජකාරියේ නියැළී සිටියේය.
තම රටේ ක්‍රිකට් කණ්ඩායම අවමන් සහගත පරාජයක් ලබා මෙතරම් අවධානයකට ලක්වූ මොහොතක ඒ ගැන නොබලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන රුපියල් ලක්ෂ 3ක මාසික දීමනා ලබන අතරතුර අයි.සී.සී.යෙන් ගමන් දීමනා ලබාගනිමින් රට වෙනුවෙන් පවරා ඇති වගකීම පැහැර හරිමින් කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මකද යන්න ඇත්තේ ගැටලුවකි. ඒ නිසා ඔහුට තේරීම් කමිටුවෙන් ඉවත්වන ලෙසට විවිධ පිරිස් යෝජනා කර සිටිති.