2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි එක්දින තරගය අද (04දා) එංගලන්තයේ, කාඩිෆ්හිදී පැවැත්වේ. මෙය තරගාවලියේ හත්වැනි තරගයයි. මේ අතර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව, නවසීලන්තය හමුවේ කඩුලු 10ක පරාජයක් අත්විඳ අතර, තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 07ක පරාජයක් අත්වින්ඳේය.
ඒ අනුව කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි තරගයට පැමිණෙන්නේ පළමු තරගයේ පරාජයද සමගිනි. තවද, මේ අවස්ථාව වන විට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම අංක නවයේත්, ඇෆ්ගනිස්තානු කණ්ඩායම අංක දහයේත් රුඳී සිටින බැවින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ සිටින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම සැසඳීමේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම අද තරගයට අවතීර්ණ වන්නේ මඳක් ඉදිරියෙන් සිටිමිනි.
බ.ඉ.කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 105කට දැවී ගිය පාකිස්තානු කණ්ඩායම යළි නැගිටිමින් ඊයේ (03දා) එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 348ක් රැස් කළේය. එය, දරුණු පරාජයකින් පසුව ප්‍රබල ලෙස යළි නැගිටීමකි. පාකිස්තානුවන්ගේ ඉතිහාසය තුළ ඔවුන් එවැනි දක්ෂතා දක්වා ඇත. ඒ නිසාම ඔවුන් එවැනි දක්ෂතා දක්වන කණ්ඩායමක් ලෙස ප්රකටය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම එවැනි කණ්ඩායමක් නොවුවද මෙම අවස්ථාවේදී ඔවුන්ට කරන්නට සිදුව ඇත්තේද එවැනි දෙයකි. ශ්‍රී ලංකා කණ්ඩායමට කෙසේ හෝ නැගිටින්නට සිදුව ඇත.
පන්දුවාර විස්සයි-20 තරග රටාව ලොවට හඳුන්වාදීමත්, එය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමත් නිසා වර්තමානය තුළ එක්දින තරගයකදී තරගයක් දෙන්නට නම් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස්කළ හැකි කණ්ඩායමක් විය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමටද එය පොදු කාරණයකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට එවැනි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීම ක්‍රම ක්‍රමයෙන් අපහසු වන බවක් පෙනෙන්නට තිබේ.
විශේෂයෙන් කුසල් ජනිත් පෙරේරා හෝ කුසල් මෙන්ඩිස් අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් පීඩනයට ලක්වේ. එහෙත් ඇෆ්ගනිස්තානය හැරෙන්නට ලෝක කුසලාන තරගාවලියට පැමිණ සිටින සෙසු සියලුම කණ්ඩායම්වල පිතිකරුවන්ට, අඩු ලකුණු සංඛ්‍යාවකට ඉදිරිපෙළ කඩුලු එකක් හෝ දෙකක් බිඳ වැටුණද ලකුණු තුන්සියයේ සීමාව පසුකර යෑම එතරම් අපහසු නැත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගේ මෙන්ම ළහිරු තිරිමාන්නගේද ලකුණු රැස් කිරීමේ වේගය අඩු බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. එහෙයින් අඩුම තරමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකුවත් වේගයෙන් ලකුණු රැස් කළ යුතුය. ඒ නිසා අද තරගයේදී ළහිරු තිරිමාන්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා මේ අවස්ථාවේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදාගත යුතුව තිබේ.
එසේ නොමැති නම් අවිශ්ක ප්‍රනාන්දු හොඳ ශරීර යෝග්‍යතාවයකින් පසුවේ නම් අනිවාර්යයෙන්ම ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගත යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම්වලට අභියෝගයක් නොවනු ඇත.
තේරීම් කමිටුව සහ නායක දිමුත්, තිසර පෙරේරා පිළිබඳ විශ්වාසයක් තබා සිටියද ඔහුගෙන් කණ්ඩායමට අවශ්‍ය සහාය නොලැබෙන බවක්ද පෙනෙන්නට තිබේ. තවද, එහි ප්‍රතිඵලයක් වශයෙන් කණ්ඩායම සමබර කර ගැනීමේ ගැටලුවක් තිබෙන බවද පෙනේ. එමෙන්ම තිසර සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් දෙදෙනාම එක සමාන ක්‍රීඩකයින් බැවින් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු වෙනුවට කණ්ඩායමට නිත්‍ය දඟ පන්දු යවන්නෙකු යොදා ගන්නේ නම් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි බව පෙනේ.
සෙසු කණ්ඩායම් සියල්ලෙහිම නිත්‍ය දඟ පන්දු යවන්නන් සිටියද ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින්නේ නිත්‍ය නොවන දඟ පන්දු යවන්නන්ය. එවැනි පන්දු යවන්නන් සමඟ මෙවැනි තරගාවලියකදී තරගයක් ලබාදීම අපහසු බව ක්‍රමක්‍රමයෙන් පෙනී යමින් තිබේ.