එංගලන්තයේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස්කිරීමේ සහ පන්දු යැවීමේ වාර්තා පිළිබඳ අවධානය යොමු කිරීමේදී සමස්ත තරගාවලියේදී ක්‍රීඩකයන් පස්දෙනෙකුගේ දස්කම් මත පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී ඇති බව පැහැදිලිය.
ශ්‍රී ලංකාව සතුව තිබූ සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට නොගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවට පත්විය. ආර්ථික විද්‍යාවේදී මෙය ‘ඌන උපයෝජනය’ ලෙස හඳුන්වන අතර, එවැනි ආර්ථිකයකට ඉලක්කය කරායෑම අපහසුවේ.
දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සංචිතයෙන් ඉවත්කරමින් වසර ගණනාවකින් ජාතික කණ්ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූයේ %‘ඌන උපයෝජන’ තත්ත්වයකි.
ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධාන තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලියක් සාර්ථක කරගැනීමට නම් සමස්තයක් ලෙස අවම වශයෙන් සෑම තරගයකදීම ක්‍රීඩකයන් හයක් හෝ හතක් පිතිකරු සහ පන්දු යැවීම යන අංශ දෙකෙන්ම සාර්ථක විය යුතුය. එම හැකියාව නොමැති වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරග නවයෙන් තරග තුනක් පමණක් ජය ලැබීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයට පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. එහිදී ශ්‍රී ලංකාව තරග හතරක් පරාජය වූ අතර, තරග දෙකක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
කුසල් පෙරේරා තරග හතේදී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 273ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඇන්ජලෝ මැතිව්ස් අනෙක් කැපී පෙනෙන පිතිකරු බවට පත්වෙමින් තරග හතේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 244ක් රැස් කළේය. වසර හතරකට පමණ පසු එක්දින ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ නායක දිමුත් කරුණාරත්න තරග හතේදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 222ක් රැස් කළේය.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වෙමින් 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු තරග හතරකදී ශතකයක් සමගින් ලකුණු 203ක් රැස්කළේය.
කෙසේ වෙතත් අවිශ්කට අවස්ථාව හිමිවන්නේ තරග පහකට පසුවය. පිතිකරුවන් ලෙස කණ්ඩායමට ඇතුළත් වූ ළහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස් අසාර්ථක වීම මෙහිදී වඩාත් කැපී පෙනුණි.ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන හෝ ඉසුරු උදාන යන තුන් ඉරියව් ක්‍රීඩකයන් යැයි කියන පිතිකරුවන්ගෙන් සැළැකිය යුතු සහයෝගයක් ලැබුණේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා ඉදිරියට යෑමේ අවස්ථාවක් තිබුණි.
සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 13ක් දවාගත්තේය. මාලිංගගේ පන්දු යැවීම නොවන්නට ශ්‍රී ලංකාව පන්දු යැවීමේ අංශයෙන් බිංදුවට බහිනවාට සැක නැත. ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ වේග පන්දු යවන නුවන් ප්‍රදීප් තරග තුනකදී කඩුලු 05ක් දවාගෙන සිටියදී ආබාධයකට ලක්වූ අතර, ඉන්පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන්ද ඉවත් විය.ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා පන්දු යවන්නන් ලෙස ඇතැම් තරගවලදී කඩුලු ලබාගත්තද ඔවුහු අඛණ්ඩව සාර්ථකත්වය රඳවාගැනීමට අපොහොසත් වූහ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද පහත් මට්ටමක පැවැති අතර, අවම වශයෙන් උඩ පන්දු අටක් පමණ බිම අතහැරියේය. කුසල් මෙන්ඩිස්, එංගලන්තයට එරෙහිව තරගයේ සහ තිසර පෙරේරා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයේදී අතහැරි ඉතාමත් තීරණාත්මක උඩ පන්දු ද්විත්ය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සංඛ්‍යාවද වෙනස්වීමට ඉඩ තිබුණි.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි වැටුපක් ලබන ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුගේ සහයක කාර්ය මණ්ඩලයක් සිටියද, ක්‍රීඩකයන්ට උපදෙස් වැනි දේ අවශ්‍ය අවස්ථාවලදී ලැබේද යන්න සැක සහිතය.
මෙම සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස්දෙනාගේ මෙන්ම සෙසු කාර්යය මණ්ඩලයේ සහයෝගය මුසුනොවීම, එසේත් නැත්නම් දස්කම් සහ මගපෙන්වීම නොලැබීම අසාර්ථකත්වයට හේතුව බව නම් පැහැදිලිය.
යොහාන් භාසුර (ලන්ඩන් නුවර සිට)