ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතහැර යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ තවමත් එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩාකිරීම පමණක් බවත් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ට පිතිකරුවෙකු වන සඳුන් වීරක්කොඩි, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී අමිල අපොන්සු හා ශෙහාන් ජයසූරිය ගියමඟ යමින් ඇමරිකාව බලා පිටත්ව යාමට සූදාමින් සිටින බවට මේ දිනවල තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් 'අද' සඳුන්ගෙන් විමසීමක් කළ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳුන් පවසා සිටියේ, ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ආරාධනා කිහිපයක්ම ලැබුණු බවයි. නමුත් ඉදිරියේදී ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම තමන්ගේ එකම ඉලක්කය බවයි.
තවදුරටත් අදහස් දැක්වූ සඳුන්,
&පේජ් එකක දාලා තියෙනවා මම ලංකාවේ ක්‍රිකට් අතහැර ඇමරිකාවට යන්න ඉන්නවා කියලා. නමුත් මම තවම එහෙම දෙයක් තීරණය කරලා නැහැ. මට ආරාධනා කිහිපයක්ම ලැබුණා, නමුත් තවම මට වයස තිබෙන නිසා තවදුරටත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන්ම ක්‍රීඩාකරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.
කෙසේ නමුත් මටත් තව ක්‍රීඩාකරන්න පුළුවන් අවුරුදු පහක් හයක් තමයි. දවසින් දවස මගෙත් වයස යනවා. ඒ නිසා ඉදිරියේදී මටත් මොනවගේ තීරණයක් ගන්න වෙයිද කියලා කියන්න බැහැ. කෙසේ නමුත් මට දැන්ම ලංකාව අතහැර යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම දැන් සූදානම් වෙන්නේ ඉදිරියේ පැවැත්වෙන එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) එකට ක්‍රීඩා කරන්න* යැයි අවසන් වශයෙන් පැවසීය.
මහනුවර ධර්මරාජ විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ 27 හැවිදිරි සඳුන් වීරක්කොඩි, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පවා නියෝජනය කර ඇත. එමෙන්ම වමතින් පන්දුවට පහරදෙන ඔහු කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහිව 2017 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට සඳුන්ට අවස්ථාව හිමි වූවත්, මේ දක්වා ඔහුට ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමි වී ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 03කට පමණි. කෙසේ නමුත් එක්දින වරම් දිනාගත් දෙවැනි තරගයේදීම ඔහු ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දු 51කදී ප්‍රහාරාත්මක ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය.
සඳුන් මේ දක්වා පළමුපෙළ තරග 65(ඉනිම් 113)කට ක්‍රීඩාකර ලකුණු 3927ක් රැස්කරගෙන සිටින අතර, ඊට ශතක 08ක් හා අර්ධ ශතක 17ක් ඇතුළත්ව ඇත.