"කෝවිඩ්-19" වෛරසයේ ධනාත්මක රෝගී ලක්ෂණ පෙන්නුම් කරන පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු තරුවක් වන 35 හැවිරිදි රොනාල්ඩෝ මේ වනවිට හොඳින් සිටින බවත්, ඔහු නිරෝධායන නීති අනුව සති දෙකක කාලයක් හුදකලාව කාලය ගතකරන බවත් පෘතුගාල පාපන්දු සම්මේලනය පෙරේදා (13දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ අතර රොනාල්ඩෝගේ නිරෝධායන කාලපරිච්ඡේදයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට "සේරි-ඒ" තරගාවලියේ එළඹෙන ඔක්තෝබර් 17වැනිදා පැවැත්වෙන තරගය මෙන්ම ඔක්තෝබර් 20වැනිදා පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයද මඟහැරෙන බව වාර්තා වේ.
මේ වනවිට ගෝලීය "කෝවිඩ්-19" ආසාදිත ලැයිස්තුව තුන්කෝටිය (38,370,434) ඉක්මවා ඇති අතර, ඉන් අනූදහසකට (89,121) ආසන්න ආසාදිත සංඛ්‍යවක් පෘතුගාලයෙන් වාර්තා විය.
රොනාල්ඩෝ "කෝවිඩ්-19" ධනාත්මක වනවිටත් මේ දිනවල පැවැත්වෙන යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි අතර, අවසන් වරට පසුගිය ඉරිදා (11දා) ප්‍රංශයට එරෙහිව පැවැති තරගයටද ඔහු පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
කෙසේ නමුත් පෘතුගාල පාපන්දු සංගමය සඳහන් කර සිටියේ, රොනාල්ඩෝ ජාතික කණ්ඩායම සමග පුහුණුවීමෙන් නිදහස් කළ බවත්, ඒ හේතුවෙන් ඊයේ (14දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පෘතුගාලය හා ස්වීඩනය අතර තරගයට රොනාල්ඩෝ ක්‍රීඩා නොකරන බවත්ය.
රොනාල්ඩෝ පසුගිය සඳුදා (12දා) රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වෙමින් පෘතුගාල සංචිතය සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක්ද සිය ට්විටර් ගිණුම හරහා මුදාහැර තිබූ අතර, එහි ඔහු සඳහන් කර තිබුණේ "පිටියේදී සහ ඉන් පිටතදී එක්සත්" යනුවෙනි. කෙසේ නමුත් පෘතුගාල සංචිතයේ රොනාල්ඩෝ හැර වෙනත් ක්‍රීඩකයෙකු "කෝවිඩ්-19" ධනාත්මක බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර නොතිබුණි.
නේෂන්ස් ලීග් තරගාවලියේ පසුගිය සැප්තැම්බර් මාසයේ ස්වීඩනයට එරෙහිව පැවැති තරගයේදී සුවිශේෂී කඩයිමක් පසුකළ පෘතුගාල නායක රොනාල්ඩෝ, එම තරගයේදී ජාත්‍යන්තර ගෝල 100 කඩයිම පසුකර යාමට සමත් විය. එවැනි දස්කමක් දැක්වූ පළමු යුරෝපීය ක්‍රීඩකයා ලෙස රොනාල්ඩෝ මේ වනවිට ඉතිහාසයට එක්ව සිටියි.
2002 වසරේදී වෘත්තීය ක්‍රීඩා දිවිය ආරම්භ කළ රොනාල්ඩෝ, මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ වර්තමානයේ ක්‍රීඩාකරන ජුවෙන්ටස් ඇතුළු කණ්ඩායම් හතරක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඉන් රියල් මැඩ්රිඩ් ඔහු වැඩි කාලයක් රැඳී සිටි ක්‍රීඩා සමාජය වන අතර, 2009 සිට 2018 දක්වා වසර 11ක් එම කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කළේය. රොනාල්ඩෝ බැලන් ඩී ඕර් සම්මාන 05ක් සහ වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන ඇත.