ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසා ඇත්තේ, එම ඉනිමෙන් බොහෝ දේ ඉගෙනගැනීමට හැකියාව ඇති බවයි. තරගයේ තෙවැනි දිනය අවසානයේදී 'ස්කයි ස්පෝර්ස්ට්' වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව පැවසීය.
පළමු තරගයේදීද ද්විත්ව ශතකයක් (228) රැස්කිරීමට සමත් වූ රූට් තරගාවලියේ ඉහළම ලකුණු (426) රැස්කළ පිතිකරුවා බවට පත්විය. ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24දා) ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය. එංගලන්ත ඉනිමේ ලකුණු 05ක් ඇතුළත කඩුලු 02ක් බිඳවැටී ඉතා අසරණ තත්ත්වයක තිබියදී රූට් මෙම ඉනිම ගොඩනැගීම සුවිශේෂී විය.
“විශිෂ්ටයි. ඔහු කොතරම් පහසුවෙන් ඒ ඉනිම ගොඩනැගුවාදැයි සියලු දෙනාම පුදුමවෙනවා. කෙසේ නමුත් මෙම ඉනිමේදී විතරක් නෙමෙයි, පළමු ටෙස්ට් තරගයේද ඔහු පහසුවෙන් ක්‍රීඩා කළා” ස්කයි ස්පෝර්ට්ස් වෙත සංගක්කාර පැවසීය.
“අතිවිශිෂ්ට ක්‍රීඩා සැලැස්ම, පන්දුවට පහරදීමේදී පරීක්ෂකාරී වීම, ස්විප් පහර හා රිවස්විප් පහර, අනෙක් පිතිකරුවා සමඟ අන්තය මාරුකරගැනීම, තාක්ෂණය, විචක්ෂණභාවය, ඉවසිල්මත්බව මේ සියල්ල පුදුමාකාරයි. එය නැරඹීමට හා ඉගෙන ගැනීමට තරම් වටිනවා* සංගක්කාර පවසයි.
පිතිකරුවෙකුට ලකුණු රැස් කළ හැකි වූවත්, ඉවසිලිමත් බව හා සැහැල්ලු බව තිබිය යුතුයි. රූට් සතුව එය තිබුණා. ඔහුට සිය වගකීම් සහ තණතීරුව ගැන හොඳ අවබෝධයක් තිබුණු අතර, සම්පූර්ණයෙන්ම පාලනයකින් ක්‍රීඩාකළා. මට හෝ පන්දුවට පහර දෙන ඕනෑම කෙනෙකුට, පුහුණුකරුවෙකුට, රූට් දවස පුරාම ක්‍රියාත්මක වූ ආකාරය ඉගෙනීම අත්දැකීමක්.
පළමු ටෙස්ට් තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් රැස්කළා, නැවතත් එවැනිම ඉනිමක් ක්‍රීඩාකිරීමට වූ ශාරීරික හා මානසික ශක්තිය, දඟ පන්දු යවන්නන්ට සාර්ථකව ක්‍රීඩා කිරීම රූට්ගේ ඉනිමේ තිබුණු ප්‍රධාන අංගයන්* සංගක්කාර වැඩිදුරටත් පැවසීය.
2012 වසරේ සිට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ජෝ රූට් මේ වනවිට ටෙස්ට් ඉනිම් 180 (තරග 99)කදී ලකුණු 8249ක් රැස්කරගෙන සිටියි. ඊට ශතක 19ක් හා අර්ධ ශතක 49ක් වෙයි. 49.39ක පන්දුවට පහරදීමේ සාමාන්‍යයක් පවත්වාගෙන ඇති රූට් ද්විත්ව ශතක 04කටද හිමිකම් කියයි.
ජේම්ස් ලිලිවයිට්ගේ (1877-1877) සිට ටෙස්ට් නායකයන් 81 දෙනෙකු මේ වනවිට එංගලන්තයෙන් බිහි වී ඇති අතර, ඉන් 80 වැනි ටෙස්ට් නායකයා රූට් වෙයි.
2017 වසරේදී එංගලන්ත ටෙස්ට් නායකයත්වයට පත් වූ ජෝ රූට් මේ වනවිට තරග 46කට නායකත්වය දී ඇති අතර, ඉන් තරග 25ක් ජයගෙන තරග 15ක් පරාජය වී ඇත. තරග 06ක් ජයපැරදුමෙන් තොරව අවසන්වී ඇති අතර, ඔහුගේ තරග දිනවීමේ සාමාන්‍ය 54.34ක් වෙයි.