ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය මෙවර එක්ව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. මෙහිදී ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් සභාපති තනතුරටත්, නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුරටත් තරග වදියි. ඔවුහු ඊයේ (17දා) කොළඹදි මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.
දූෂිත පාලනයෙන් ගොඩගැනීමට තමන් ඇතුළු පිරිස ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් විරුද්ධ පිලත් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණීමට සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වන ජයන්ත ධර්මදාස පාර්ශ්වය පැවසීය.
මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතා,
"අපි හැමෝම ආවෙ මේ දූෂිත පාලනයෙන් ක්‍රිකට් ගොඩගන්න. දූෂිත පාලනයක් ගෙනියන්න අවශ්‍යනම් අපිට ඡන්දයත් එපා. පහුගිය කාලෙදි ඇත්තටම පාලනයක් වුණේ නෑ. මගේ පාලනය යටතේ තමයි 2014 පන්දුවාර 20 ලෝක කුසලානය හා ආසියානු කුසලානය දෙකම ගත්තේ. ඊට පස්සේ 2016 දී අපි පල්ලම් බැස්සා. හිටපු පාලකයන්ට ඕන ක්‍රිකට් නෙමෙයි සල්ලියි.
මම වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවා. ගොඩක් ක්‍රීඩකයෝ එළියට එන්නේ ඒකෙන්. මමත් වෙළෙඳ සේවා ක්‍රිකට් ගහපු කෙනෙක් නිසා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් වෙළෙඳ සේවා ක්‍රිකට් අයින් කළා. නමුත් ඒකට ඡන්ද දෙකක් තියෙනවා ඒකට. නමුත් මගේ ඉදිරිපත් වීමට නිලවරණ කමිටුවෙන් විරුද්ධත්වයක් ප්‍රකාශ කරල තිබ්බෙ නෑ.
මම නීති කඩල කවදාවත් එන්නේ නෑ. මට තිබ්බා අවුරුදු 40කට කලින් ක්‍රිකට් ගැහුවා කියලා කියන්න. ඒවල වාර්තාත් දැන් නැති නිසා කාටවත් ඒක හොයන්න බෑ. නමුත් මම වංචාකාරී දේවල් කිසිදෙයක් කරල නෑ. එහෙම කළා නම් මම තිලංග සුමතිපාලගේ කමිටුවේ තාම ඉන්නවා.
මම අයි.සී.සී. ගිහිල්ල තියෙනවා අවුරුදු 5ක් අධ්‍යක්ෂකවරයෙකු හැටියට. අයි.සී.සී. එකේ ඉන්න අධ්‍යක්ෂකලා එක්කෙනෙක්වත් ක්‍රිකට් ගහල නෑ. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් විතරයි ක්‍රිකට් ගහල තියෙන්නේ."
මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත රණතුංග මහතා,
"මම හිතනවා ක්‍රිකට් ආයතනය කියන්නේ වසරකට ඩොලර් මිලියන 12ක් 14ක් විතර ආදායමක් ගන්න පුළුවන් ආයතනයක්. මේකෙ භාණ්ඩාගාරික විදිහට ඉන්න ඕන අඩුම තරමේ වරලත් ගණකාධිකාරීවරයෙක්. නමුත් ඒක පහුගිය වසර කිහිපයේදී වෙනස් වුණා එක එක අයගේ අවශ්‍යතාවන්වලට. ක්‍රිකට් ආයතනයේ දූෂණවලටත් හේතු වුණේ ඒකයි. අපි කැමතියි මේ ගැන රූපවාහිනී නාළිකාවක විරුද්ධ කට්ටියත් එක්ක මේ ගැන වාදයක් කරන්න" යැයි පැවසීය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ