ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. ඉන්දීය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ඩි විලියර්ස් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් සංචිතය (ක්‍රීඩකයින් 15 දෙනාගේ) නම් කිරීමට පැය 24කට පෙරාතුවය.
ඩි විලියර්ස් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කණ්ඩායම් නායක ඩු ප්ලෙසි, පුහුණුකරු ඔටිස් ගිබ්සන් හා තේරීම් කමිටුවටය. කෙසේ නමුත් එම ඉල්ලීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට හේතු වී ඇත්තේ ඔහු පසුගිය කාලයේදී දේශීය තරගවලට සහභාගි නොවීමයි. ඩිවිලියර්ස් පසුගිය වසරේ (2018) මැයි මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.
කෙසේ වෙතත් ඩි විලියර්ස් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් ඉනිම් 13කදී ලකුණු 442ක් රැස් කළේ 44.2ක සාමාන්‍යයක් සහිතවය.
35 හැවිරිදි ඩි විලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ඉනිම් 213කදී ලකුණු 9427ක් රැස්කරගෙන ඇත්තේ 54.17 ක ලකුණු සාමාන්‍යයක් සහිතවය. එය එක්දින තරග සියය සම්පූර්ණ කළ ද. අප්‍රිකානු පිතිකරුවන් අතර හොඳම ලකුණු සාමාන්‍යයයි. එය තරග දෙසීය සම්පූර්ණ කළ ලොව පිතිකරුවන් අතර, දෙවැනි හොදම ලකුණු සාමාන්‍යයද වේ. ඩි විලියර්ස් සතුව එක්දින තරගවලදී වේගවත්ම ලකුණු 50 (පන්දු 16), වේගවත්ම ලකුණු සියය (පන්දු 31) හා වේගවත්ම ලකුණු 150 (පන්දු 67) යන වාර්තාද අන්තර්ගතය.
මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව සිටින දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් හමුවේ සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය.