බැලොන් ඩිඕර් හෙවත් වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය පසුගිය වසර 10ක කාලය පුරාවටම ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බූදලයන් වූ බව යමෙකු පැවසුවහොත් එය වැරැද්දක්ද නොවේ.
2008 වර්ෂයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පළමුවෙන්ම මෙම සම්මානයට හිමිකම් කීමෙන් අනතුරුව පසුගිය වර්ෂය (2017) දක්වාම ගතවූ සම්මාන උළෙලවල් 10 තුළදී මෙම සම්මානය ඔවුන් දෙදෙනා සමානව බෙදා ගෙන තිබීමෙන්ම එය පැහැදිලි වේ.
නමුත් 21 වැනි පාපන්දු ලෝක කුසලානය පැවැත් වූ මෙම වර්ෂයේදීම මෙම සම්ප්‍රදායට තිත තැබූ ක්‍රොයේෂියාවේ ලුකා මොඩ්රිච් මෙවර වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට බවට පෙරේදා (03දා) රාත්රියේදී පැවති මෙවර සම්මාන උළෙලේදී සම්මාන ලැබීය. සම්මානය සඳහා නිර්දේශ වූ නාමයන් 30ක් අතරින් ප්‍රසාද ලකුණු 753ක් ලබාගත් මොඩ්රිච් පෙරමුණ ගත්තේ, එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 478ක් ලබා ගත් ක්‍රිස්ටියානෝ රොන්ල්ඩෝටත් තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 414ක් හිමි කරගත් ප්‍රංශයේ ඇන්තනී ග්රිස්මාන්ටත් හිමිකර දෙමිනි.
ක්‍රොයේෂියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය හොබවන මොඩ්රිච් පසුගිය ලෝක කුසලානයේ අනුශූරතාව සිය රටට දිනා දීමට දැඩි වෙහෙසක් ගත් ක්‍රීඩකයෙකි. විශේෂයෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන් පන්දුව උදුරා ගැනීමේ සුවිශේෂ දක්ෂතා ඇති හෙතෙම මෙවර තරගාවලියේ ක්‍රොයේෂියාව වෙනුවෙන් ගෝල ද්විත්වයක හිමිකරුවා බවටද පත්විය. එහිදී ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් බෝලය (Golden Ball) සම්මානයද හෙතෙම දිනා ගත්තේය. මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙන මොඩ්රිච් ක්‍රොයේෂියාව වෙනුවෙන් 2006 වර්ෂයේ පටන් ක්‍රීඩා කරමින් තරග 118කදී ගෝල 14ක් ලබාගැනීමට සමත්ව ඇත. මීට අමතරව ලොව දක්ෂතම පාපන්දු කණ්ඩායමක් වන රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ 2012 වර්ෂයේ සිට නිත්‍ය සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කරමින් තරග 180කටද මොඩ්රිච් දායකත්වය ලබාදී ඇත.
මොඩ්රිච්ගේ මෙම සම්මානයේ මෙසී, රොනාල්ඩෝ ආධිපත්‍යය බිඳ දැමීමට ප්‍රථමයෙන් අවසන් වරට මෙම සම්මානය 2007 වර්ෂයේදී බ්‍රසීල හිටපු ඉදිරිපෙළ ක්‍රීඩක කාකා විසින් දිනාගෙන ඇත. කෙසේ වෙතත් සම්මාන උළෙලේ දෙවැනි ස්ථානය දිනා ගත් පෘතුගාලයේ රොනාල්ඩෝ මේ සමගින් මෙහි අනුශූරතාව දිනාගත් වාර සංඛ්‍යාව 06ක් වූ අතර, මේ සමගින් ඉතිහාසයේ මෙහි වැඩිම අනුශූරතා ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණ දිනාගැනීමටද හෙතෙම සමත් විය. මීට පෙර ඔහු ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී (අනුශූරතා 5) සමගින් මෙහි සමතැන ගෙන සිටියේය. 1956 වර්ෂයේදී ආරම්භ වූ මෙම සම්මාන උළෙලේ මෙසී හා රොනාල්ඩෝ දෙදෙනාම ශූරතා 5 බැගින් දිනා ගනිමින් වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයො බවට පත්ව සිටිති.
කෙසේ වෙතත් මෙම සම්මාන උළෙලේදී රොනාල්ඩෝගේ ප්රබලතම ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ප්‍රසාද ලකුණු 280ක් ලබා ගනිමින් 05 වැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි. මේ වසරේදී මෙසීට සැලකිය යුතු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම ඊට එක් හේතුවක්වූ අතර, මෙවර ලෝක කුසලානයේදීද ආර්ජන්ටිනාවට අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත්වීම මෙසීගේ ජනප්‍රියතාව අඩුවීමට යම් හේතුවක් වූවා විය හැකිය.
කෙසේ වෙතත් මෙසී අබිබවා සටහනේ සිවුවැනි ස්ථානය දිනා ගත් ප්‍රංශ යොවුන් ක්‍රීඩක කයිලියන් එම්බපේ මෙම සම්මාන උළෙලේදී දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට හිමි (Kopa Trophy) සම්මානයද දිනාගැනීමට සමත් විය.
මෙවර සම්මාන උළෙලේදී එංගලන්ත ප්‍රිමියර් ලීගයේ වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනාගත් ඊජිප්තුවේ මොහොමඩ් සලා මෙම සටහනේ හයවැනි ස්ථානය දිනා ගෙන තිබිණ. කෙසේ වෙතත් පසුගිය ලෝක කුසලානයේ වැඩිම ගෝලලාභියා බවට පත් වූ එංගලන්ත නායක හැරී කේන්ට මෙම සටහනේ සැලකිය යුතු ස්ථානයන් ලබාගැනීමට නොහැකිවූ අතර ඔහුට හිමිවී තිබුණේ 10 වැනි ස්ථානයි. එමෙන්ම බ්‍රසීලයේ නේමාර් (12) හා උරුගුවේ ලුයිස් සුවාරෙස් (13) වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ට මෙම සටහනේ පළමු දසදෙනා අතරට පැමිණිමට නොහැකිවී තිබිණ.
මේ අතර මෙම සම්මාන උළෙලේදී පළමුවරට වසරේ දක්ෂතම ක්‍රීඩිකාවටද හිමි සම්මානයක්ද පිරිනැමූ අතර එය දිනා ගත්තේ නෝර්වීජියානු ක්‍රීඩිකා අඩා හෙගර්බර්ග් විසිනි. (23) හැවිරිදි හෙගර්බර්ග් මෙවර කාන්තා චැම්පියන්ස් ලීගය සිය කණ්ඩායම වූ ලියොන් වෙත දිනා දීමට දැක්වූ දක්ෂතා ද මෙම සම්මානය ඇයට හිමිවීමට බලපා තිබේ.