සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (12දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 268ක් රැස්කළේය.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කුල්දීප් යාදව් ලකුණු 25ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය. එය එංගලන්තයේදී ඕනෑම පන්දු යවන්නෙක්ගෙන් වාර්තා වූ හොඳම පන්දු යැවීම වන අතර එක්දින පිටියේ වමත් දඟ පන්දු යවන්නෙකුගේගේ හොඳම පන්දු යැවීම ලෙසත් වාර්තා අතරට එක්විය.
එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.
ලකුණු 269ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40.1කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 269ක් රැස්කරමින් තරගය ජයගත්තේය. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නොදැවී ලකුනු 137ක් රැස්කළ අතර නායක විරාත් කොලි ලකුණු 75ක් රැස්කළේය.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.