කෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (19දා) සමත් වූවාය.
තරුෂි කරුණාරත්න
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඡායාරූප - Ceylon Athletics
තරගාවලියේ දෙවැනි දිනය වූ අද (19දා) මීටර 800 කාන්තා මූලික වටයේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.20ට ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශානිකා ලක්ෂානි හා තරුෂි කරුණාරත්න සහභාගි වූහ.
එහි පළමු මූලික තරගයට ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශානිකා ලක්ෂානි සහභාගි වූ අතර, එහිදී විනාඩි 2.20.37ක කාලයක් වාර්තාකළ ඇයට 05 වැනි ස්ථානයෙන් සැහීමට සිදුවූවාය.
ශානිකා ලක්ෂානි
මෙහි දෙවැනි මූලික තරගයට වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුෂි කරුණාරත්න සහභාගි වූ අතර, ඇය විනාඩි 2.10.70කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගත්තාය.
ඒ අනුව තරුෂි වාර්තාකළ කාලය අනුව සමස්ත තරගයට සහභාගි වූ තරගකාරියන් 29 දෙනා අතරින් 17 වැනි ස්ථානය හිමිවිය. නමුත් ඇය සිය ඉසව්වේ තෙවැනියා ලෙස තරගය අවසන්කළ හෙයින් ඇයට අවසන් පූර්ව වටයට (අවසන් 16 අතරට) පිවිසීමට අවස්ථාව උදාවූවාය.
කෙසේ නමුත් පළමු මූලික තරගයට සහභාගි වූ ශානික වාර්තාකළ කාලය අනුව ඇයට හිමි වූයේ 22 වැනි ස්ථානයයි. මේ අතර සමස්ත තරග ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් 29 දෙනාගෙන් සිව් දෙනෙකුටම නිසි ලෙස තරගය අවසන් කිරීමට නොහැකි වීමද සුවිශේෂී විය.
මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (20දා) ප.ව. 6.50ට පැවැත්වීමට නියමිතව ඇත.