සාග් පිහිණුම් තටාකයේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත වරක් වර්ණවත් කරමින් රන් පදක්කම් 07ක් දිනාගනිමින් තමාගේ නමින් ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාව සමකිරීමට පිහිනුම් ජාතික ශූර මැතිව් අබේසිංහ සමත් විය.
මැතිව් ඊයේ (09දා) පැවැති මී. 200, මී. 50 සමනළ ආර හා මී. 100 නිදහස් ආර ඉසව්වන්ගේ රන් පදක්කම දිනාගත් අතර, ඒ සමග සමස්ත ක්‍රීඩා උළෙලේ ඔහු දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 07ක් දක්වා වර්ධනය විය.
අවසන් වරට 2016 වසරේ ඉන්දියාවේ පැවැති සාග් උළෙලේදීද ඔහු රන් පදක්කම් 07ක් දිනාගත් අතර, එවර ඔහුට වසර ගණනාවක් සාග් ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් (06) ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකාවේ ජූලියන් බෝලිං පිහිටුවා තිබූ සාග් වාර්තාව බිඳළීමට හැකිවිය.
මේ අතර සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට කබඩි ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව මීට ඉහතදී සාග් උළෙලක අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වූ අතර, මෙවර ඔවුන් ලොව ප්‍රබල කබඩි කණ්ඩායමක් වන පාකිස්තානය පවා මූලික වටයේදී පරාජය කිරීමට සමත් විය. කෙසේ නමුත් කාන්තා කණ්ඩායමට කබඩි ලෝකඩ පදක්කමෙන් සෑහීමට සිදුවිය.
මේ අතර ඊයේ (09දා) පැවැති සාග් ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් පැවැති තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ අනුව ක්‍රිකට් කාන්තා හා පිරිමි ද්විත්වයේම රන් පදක්කම් බංග්ලාදේශය දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් මහා තරගය දක්වා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අවසන් තරගයේදී පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි.
මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ 18.1 වැනි පන්දු වාරයේදී කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් රන් පදක්කම දිනා ගත්තේය.
මෙහි ලෝකඩ පදක්කම වෙනුවෙන් තරගය සත්කාරක නේපාලය හා මාලදිවයින අතර ඊයේ (09දා) පැවැති අතර, එහිදී කඩුලු 05ක ජයක් නේපාලයට හිමිවිය.
නාමල් පතිරගේ / නෞෂාඩ් අමිට් (නේපාලයේ සිට)